කබීර් වොක්ෂෝල් වීදියේ පිහිටි ඉඩමකට පැටලෙයි.



ජනතා වතු සංවර්ධන මණ්ඩලයට (ජනවසම) අයත් කොළඹ දෙක වොක්ෂෝල් වීදියේ පිහිටි ඉඩම පෞද්ගලික ආයෝජකයකුට පැවරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වයට හේතු වී ඇත්තේ රාජ්‍ය ව්‍යවසායක ඇමැති - තා අගමැති උපදේශක ආර්. පාස්කරලිංගම් මහතාට යොමු කර ඇති ලිපියක් නිසා බව අනාවරණය වේ. මෙම ගනුදෙනුව රුපියල් බිලියන 2 ක අක‍්‍රමිකතාවක් බවට පසුගිය සතියේ සිලෝන් ටුඩේ පුවත්පත ප‍්‍රධාන සිරස්තලය ලෙස යොදා වාර්තා කර තිබිණි.

ඊට පදනම් වී තිබුණේ කබීර් හෂීම් මහතා විසින් පාස්කරලිංගම් මහතාට යොමු කරනු ලැබූ ලිපියේ අඩංගු කරුණු කිහිපයකි. වතු සංවර්ධන මණ්ඩලයට අයත් මෙම ඉඩම මේ වන විටත් කැන්ඩි ටයර් හවුස් සමාගමට අනුබද්ධ සමාගමක් වන මිස්ට පේන්ට් ලංකා සමාගම තිස්තුන් අවුරුදු බදු පදනම යටතේ ලබා ගෙන තිබෙන ඉඩමක් වන අතර එම බදු ගිවිසුම අහෝසි වීමට නියමිතව ඇත්තේ 2033 වසරේ දී ය. මේ වන විට එම ඉඩමේ පවත්වාගෙන යන්නේ වාහන අලූත්වැඩියා කරන ව්‍යාපාරයකි. එම ඉඩම අනූ නව අවුරුදු බදු පදනම යටතේ ලබා දෙන ලෙස එම සමාගම ජනවසමෙන් ඉල්ලා තිබිණි. ඒ ජපාන ව්‍යාපාරිකයකුට අයත් ප්‍රොකෝන් සංවර්ධන (හොංකොං) සමාගම හා මිශ‍්‍ර ව්‍යාපෘතියක් වෙනුවෙනි. එම ව්‍යාපෘතිය අනුව මෙම ඉඩමේ මහල් 37 ක නිවාස, කාර්යාල සහ සාප්පු සංකීර්ණයක් ඉදිවනු ඇත. එහි නිවාස 500ක් අඩංගු වේ. නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා තිස්තුන් අවුරුදු බදු යටතේ වන රජයේ ඉඩම්වලට අනුමැතිය ලැබෙන්නේ නැත. ඒ සඳහා අනූ නව අවුරුදු යටතේ ඉඩම් ලබා ගැනීම සිදු විය යුතුය. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් (රුපියල් බිලියන විසි නවයක්) ඍජුවම ආයෝජනය කිරීමට ද ඔවුන් සූදානම් වන අතර එම මුදල් මේ වන විටත් මෙරට බැංකුවක තැන්පත් කර ඇති බව පැවසේ.

කෙසේ නමුත් මෙම ඉඩම් ගනුදෙනුවේ මූලික සාකච්ඡාව පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී එනම් 2013 වසරේ දී සිදු කෙරී ඇති අතර 2014 වසරේ දී ඊට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. රාජපක්ෂ යුගයේ සිදු වුණ අක‍්‍රමිකතා බහුල ගනුදෙනු නිසා මෙම ගනුදෙනුව ද අක‍්‍රමිකතාවක් විය හැකි බවට සැකයක් තිබිණි. නමුත් එවකට ඉඩමේ තක්සේරු වටිනාකම පර්චසයක් රුපියල් මිලියන 4.2 ක් ලෙස තක්සේරු කර තිබූ අතර එම මුදලට එම ඉඩම ලබා ගැනීමට ව්‍යාපාරික සමාගම් කැමැත්ත පළ කර තිබිණි. ඒ අනුව මෙම සම්පූර්ණ ගනුදෙනුව රුපියල් බිලියන 1.15 කි.

කෙසේ නමුත් වත්මන් ආණ්ඩුව පත් වීමෙන් පසුව මෙම මහා පරිමාණ ව්‍යාපෘති සියල්ල තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර පසුගිය දින සියයේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් ද එය අනුමත කරන ලදී. මේ සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනය ආර්ථික කළමනාකාරිත්වය පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ දී සාකච්ඡුාවට ලක්වුණු නමුත් මෙම ඉඩම පර්චසයක් රු.මි. 4.2 ක මුදලට ලබා දීම සම්බන්ධයෙන් ජනවසම් සභාපති කෙනඩි ගුණවර්ධන මහතා දිගින් දිගටම විරෝධය දක්වා තිබිණි. ඒ, ජනවසම ගෙවීමට තිබෙන ණය හා බදුවල වටිනාකම මෙම ඉඩම බිලියන 1.15 කට විකිණීමෙන් පියවාගත නොහැකි බවත් මෙම ඉඩම පර්චසය මිලියන 8 බැගින් ලබා ගැනීමට ගැනුම්කරුවන් සිටින බවත් සඳහන් කරමිනි. නමුත් එම සභාපතිවරයාට පාස්කරලිංගම් මහතා විසින් රජයේ දේපළ විකිණීම හෝ බදු දීම සම්බන්ධයෙන් ඇති නීති රීති ගැන පෙන්වා දී පසුගිය රාජපක්ෂ පාලන කාලයේ දී ගාලූ මුවදොර ඉඩම් විකුණූ වංචාකාරී ආකාරයට මෙම ගනුදෙනුව සිදු නොවිය යුතු බව අවධාරණය කර තිබේ. මේ අතර මෙම ඉඩමේ වත්මන් තක්සේරු වටිනාකම මිලියන 6 කට ආසන්න බවට රජයේ තක්සේරුකරු වාර්තාවක් ලබා දී ඇත. අප වෙත වාර්තා වන පරිදි වත්මන් තක්සේරු මිලට මෙම ඉඩම ලබා ගැනීමට ව්‍යාපාරික සමාගම එකඟ වී තිබේ. කෙසේ නමුත් මාර්තු මස 30 වන දිනට පෙර මෙම ව්‍යාපෘතිය සඳහා රජයේ අනුමැතිය නොලැබේ නම් ජපාන සමාගම මෙය අත්හැරීමේ සූදානමක පසුවන බව ද වාර්තා වේ.

කබීර් හෂීම් මහතා පාස්කරලිංගම් මහතාට යොමු කර ඇති ලිපියේ සඳහන් වන්නේ ද මෙම ඉඩම පර්චසය මිලියන 8 ගණනේ ලබා ගැනීමට ගැනුම්කරුවන් දෙදෙනකු ඉදිරිපත්ව සිටිය දී රු. මිලියන 4.2 කට ලබා දීම විශාල අක‍්‍රමිකතාවක් බවත් මෙය දේශපාලන හිතවත්කමක් මත සිද්ධ වන ගනුදෙනුවක් විය හැකි බවත්ය. තමා නොසිටි කමිටු රැස්වීමක දී තීන්දු ගැනීම ගැන ද ඔහු අප‍්‍රසාදය පළ කර ඇත.

කෙසේ නමුත් මේ දිනවල ඇමැතිවරයා විදේශගතව සිටී. ඔහු වෙනුවෙන් මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් කටයුතු සිදු කරනු ලබන්නේ ඔහුගේ ලේකම්වරයා වන මස්සිනා විසිනි. මෙම ඉඩම් ගනුදෙනුව අක‍්‍රමිකතාවක් බවට පුවත්පත්වලට අසත්‍ය තොරතුරු ලබා දීම ගැන අගමැතිවරයා විසින් මෙම ලේකම්වරයාට දැඩිව දෝෂාරෝපණය කර ඇති බවත් වාර්තා වේ.

මේ අතර පසුගිය 17 වන දින ජනවසම සභාපතිවරයා කැබිනට් අනුකාරක සභාව වෙත දැනුම් දී ඇත්තේ නව ඉඩම් තක්සේරු මිල ගණන් යටතේ එනම්, මිලියන 6 බැගින් මෙම ඉඩම අදාළ සමාගමට පැවැරීමට ජනවසම අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වූ බවය. ඩොලර් මිලියන 200ක් වන මෙම ව්‍යාපෘතිය මෙරටට ලැබුණු විශාල ආයෝජනයක් වන අතර මෙහි වාස්තු විද්‍යා සැකසුම ඉතාලි ගෘහ නිර්මාණ ශිල්ප ආයතනයක් මඟින් සකස් කරනු ලබයි.

-සුභාෂ් ජයවර්ධන-
- සත්හඬ-

Share on Google Plus