ආණ්ඩු මාරුවෙන් KDU නීති සිසුන් අසරණයි - යහපාලනය නිහඩ ඇයි?


2012 වර්ෂයේදී ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමලාවන් සදහා  මුදල්  ගෙවීමේ පදනම මත  සිසු සිසුවියන් බදවා ගැනීම ආරම්භ වූ අතර එ සදහා බදවා ගැනීම් අංක 29 යටතේ නීති පිටයෙහි නීතිවේදී උපාධිය සදහා  ඇතුලත් වූ සිසුන් මේ වන විට එම උපාධිය සාර්ථකව අවසන් කර ඇත.

මෙහි ඇති විශේෂත්වය නම් උසස් පෙළ සමත් හා නිදහස් අධ්‍යාපනය යටතේ විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලැබූ සිසුන් විශාල ප්‍රමාණයකට උසස් අධ්‍යාපන අවස්ථාව හිමි වීමයි. තවද විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සිසු සිසුවියන් විශාල ප්‍රමාණයක් මෙම විශ්ව විද්‍යාලයට ඇතුලත් වන්නේ තමන් කැමති විෂය ධාරාව හැදෑරීමට අවස්ථාව ලැබීම, විරෝධතා ස්ට්‍රයික් නොමැතිවීම හේතුවෙන් නියමිත කාලයට තම උපාධිය ලබා ගත හැකි වීම හා විනයවත් පරිසරයක අධ්‍යාපනය ලැබීමට ඇති හැකියාව නිසයි.

 ශ්‍රීලාංකීය සිසුන්   විසින් මෙම විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට ප්‍රධානතම හේතුව වන්නේ  ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා යටතේ හා ආරක්ෂක අමාත්‍යන්ශය යටතේ පවත්වාගෙන යන විශ්ව විද්‍යාල ප්‍රතිපාධන කොමිෂන් සභාව මගින් පිළිගත් රජයේ විශ්ව විද්‍යාලයක් වීමයි. 

මෙලෙස  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ සිසු සිසුවියන් බහුතරයකට  උසස් පෙළ ප්‍රතිපල මත රාජ්‍ය විශ්ව විද්‍යාල සදහා  සුදුසුකම් ලැබුවද ඒවන විටත් ඔවුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලාවන් සදහා මුදල් ගෙවීමේ පදනම මත ලියාපදිංචි වී සිටි  බැවින් රජයේ විශ්ව විද්‍යාල දෙකක ලියාපදිංචි වීමට නොහැකි බව දන්වමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාධන කොමිෂන් සභාවේ සභාපති වරයාගේ අත්සනින් ඔවුන් වෙත යොමු කල ලිපියකින්  දැනුම් දී ඇත. එබැවින් උසස්පෙළ සමත් අනෙකුත් සිසුන්ට නිදහස් අධ්‍යාපනය යටතේ ලැබෙන වරප්‍රසාද පවා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි වීම තුලින් එම සිසුන්  හට අහිමි වන්නේ කොතලාවල  ආරක්ෂක විශ්ව විද්‍යාලය ද රාජ්‍ය විශ්ව විද්‍යාලයක් වන බැවිනි.

මෙලෙස ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි නීතිවේදී උපාධිය හැදෑරීම සදහා  ඇතුලත්වන විට එහි උපකුලපතිවරයා වූ  මේජර් ජෙනරල් මිලින්ද පිරිස් මහතා හා පීථාධිපති ආචාර්යය ප්‍රතිබා මහානාමහේවා මහතා විසින් ලබා දුන් සහතිකයට අනුව ඔවුන් හදාරන නීතිවේදී උපාධිය අනෙකුත් ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල වලින් ලබාදෙන නීතිවේදී උපාධියේ ගුනාත්මක භාවයට සමාන වන බවත් එනිසා නීතිඥ වෘත්තියට පිවිසීම සදහා ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුල අවසන් වසර විභාගයට පමණක් පෙනීසිටීම අවශ්‍ය වන බවත් ප්‍රකශ කර ඇති අතර එයට උදාහරණයක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලය ගෙන හැර දක්වා ඇත.

නමුත් ඒ වන විට මෙම නිති පීටයේ ජෙෂ්ට සිසුන් නොමැතිවීම හේතුවෙන් එකී සහනය නීති විද්‍යාලය තුලින් ලැබෙනවාදැයි ප්‍රයෝගික ව දැක ගැනීමට ඇති නොහැකියාව හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලයක සුරක්ෂිතභාවය  තුල එම සිසුන් උපකුලපතිවරයාගේ හා පිඨාධිපතිවරයගේ ඉහත කි ප්‍රකාශය මත විශ්වාසය තබා ඇත.
ඉන් පසුවද උපකුලපතිවරයා හා පීථාධිපතිවරයා දිගින් දිගටම එම සහනය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පසුවන බවත් අනිවාර්යයෙන්ම එම සහනය නීති විද්‍යාලය තුලින්  අනිවාර්යයෙන්ම සිසුන් හට  ලැබෙන බවත් ප්‍රකාශ කරන ඇත.

 අවස්ථා කීපයකදීම නීති විද්‍යාලයේ එවකට විදුහල්පතිතුමන් වන  ආචාර්ය ජයතිස්ස ද කොස්තා මැතිදුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය නීති පිටයට පැමිණ එහි කටයුතු අධ්‍යනය කර ඇති අතර එහිදීද සිසුන් හට පවසා ඇත්තේ එම නීතිවේදී උපාධිය ඉතාමත් ගුණාත්මක උපාධියක් වන බැවින් නීති එවිද්‍යාලය තුල අවසන් වසර විභාගයට පමණක් පෙනිසිටීමේ වරප්‍රසාදය එම සිසුන් හට ලබා දෙන බවත්ය.

ඉන්පසු 2014 වසරේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාධන කොමිෂන් සභාව විසින් එම  නීති පීඨයේ නීතිවේදී උපාධිය සදහා පවත්වන ලද තත්ව පරීක්ෂණයක් මගින් ද අතිවිශිෂ්ට සාමාර්ථයක් ලබා දී ඇත.

තවද කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි නීති  පිඨයේ  පීඨාධිපතිතුමා  විසින් 2015  සැප්තැම්බර් 03 වෙනි දින  නීති විද්‍යාලයීය විෂය නිර්දේශය සහ එම විශ්ව විද්‍යාලිය නීතිවේදී උපාධි විෂය නිර්දේශය සන්සන්ධනය කර එහි ඇති ගුණාත්මක භාවය හේතුවෙන් අනෙකුත් ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල වලට මෙන් මෙම විශ්ව විද්‍යාලයටද මෙම පහසුකම නීති විද්‍යාලය තුලදී ලබා දෙන මෙන් ඉල්ලා වාර්තාවක් යවා ඇත.

ඉන් පසු මාස 6ක් ගතවී ඇතත් ශ්‍රීලංකා නීති විද්‍යාලය මගින් තවමත් නිශ්චිත පිළිතුරක් ලබා දි නොමැත.කෙසේ වුවත් මෙම වසරේ අප හට නීති විද්‍යාලයේ විභාගයන්ට පෙනී සිටීමට නම් 2016 මාර්තු 10 වැනි දිනට පෙර  නීති විද්‍යාලය තුල ලියාපදිංචි විය යුතුව ඇති හෙයින් තවමත්  මෙම පිළිගනිම ලබා නොදීම හේතුවෙන් සිසුන් මහත් අපහසුතාවයකට පත් වී ඇත. එබැවින් ඔවුන්  හට නීති විද්‍යාලිය 1වන ,2 වන හා 3න් වන වසර යන විභාගයන් තුන සදහා ම පෙනී සිටීමට අවශ්‍යව ඇත.

නමුත් ශ්‍රීලංකා නීති විද්‍යාලය තුල නීතිවේදී උපාධිධාරීන් දෙපිරිසක් සිටින අතර, ඔවුන්ගෙන් පළමු කාණ්ඩය වන්නේ “රාජ්‍ය විශ්‍යවිද්‍යාල වල ශ්‍රී ලාංකීය නීතිවේදී උපාධිය ලබාගත් සිසුන්” වන අතර දෙවන කාණ්ඩය නම් “පුද්ගලික විශ්ව විද්‍යාල තුලින් ලන්ඩන් නීතිවේදී උපාධිය ලබාගත් සිසුන්” වේ. මෙම පළමු කාණ්ඩයට නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට පමණක් පෙනී සිටීමෙන් නීතිඥ වෘත්තියට පිවිසිය හැකි වන අතර දෙවන කාණ්ඩයට නීති විද්‍යාලයේ පළමු දෙවන හා තුන්වන වසරවල විභාගයන්ට පෙනිසිටිමෙන් නීතිඥ වෘත්තියට පිවිසිය හැකිය. මෙයින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය රාජ්‍ය විශ්ව විද්‍යාලයක් වන බැවින් හා එම සිසුන්  ලබා ගත් නීතිවේදී උපාධිය ශ්‍රී ලාංකීය නීතිවේදී උපාධියක් වන බැවින් ඔවුන්  නිරායාසයෙන්ම අයත් වන්නේ පළමු කාණ්ඩයට වුවත් ශ්‍රී ලංකා නීති විද්‍යාලය මගින් අත්තනෝමතික ලෙස මෙම පිලිගැනීම ලබා නොදීමට කටයුතු කරයි. එබැවින් පුද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස  කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය කාණ්ඩ ගත කොට ඇත.

මේ වන විට එම පොරොන්දුව ලබා දුන්  පීඨාධිපතිතුමන් හා  උපකුලපතිතුමන් විශ්ව විද්‍යාලය තුල නොමැති අතර වර්තමාන උපකුලපතිතුමන්ද  නිශ්චිත පිළිතුරක් ලබා නොදෙන බැවින්  මෙම ගැටලුවට කන් දීමටවත් කිසිවෙකු නොමැතිවීම හේතුවෙන් සිසුන් මහත් අසරණ භාවයකට පත්ව ඇත.

  • ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රක සමාජවාදී ජනරජයේ ආරක්ෂක අමාත්‍යාශය හා අතිගරු ජනාධිපතිවරයා යටතේ පවතින මෙම විශ්ව විද්‍යාලයෙහි උපකුලපතිවරයා  හා පිටධිපතිවරයා ලබා දුන් පොරොන්දු ඉටු නොවන්නේද?
  • එසේ නම් එය සාපරාධි විශ්වාසය කඩකිරීමක් නොවන්නේද? 
  • මෙම පොරොන්දුව ලබා දුන් පිඨාධිපතිවරයා එවකට ශ්‍රීලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වරයෙකු වූ  අතර උපකුලපතිවරයා  දැනට ශ්‍රී ලංකා යුධ හමුදාවේ  මාණ්ඩලික ප්‍රධානි ලෙස උසස් වීමක් ලබා ඇත. ඔවුන්ට මෙලෙස වගකීම් විරහිත පොරොන්දු ලබා දෙමින් අහිංසක දෙමව්පියන්ගේ ලක්ෂ ගණන් මුදල් වංචා කල හැකිද?
  • ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රක සමාජවාදී ජනරජයේ ආරක්ෂක අමාත්‍යාශය හා අතිගරු ජනාධිපතිවරයා යටතේ පවතින විශ්ව විද්‍යාල ප්‍රතිපාධන කොමිෂන් සභාව මගින් අනුමත මෙම විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුල රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ලෙස පිලි නොගන්නේ ඇයි?
  • උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාධන කොමිෂන් සභාව මගින් සිදුකළ තත්ව පරීක්ෂණයට අනුව මෙම නීතිවේදී උපාධියට අතිවිශිෂ්ට සාමාර්ථයක් ලබා දි තිබියදී නීති විද්‍යාලයෙන් නිසි පිළිගනිම ලබා නොදෙන්නේ ඇයි?
  • රාජ්‍ය තන්ත්‍රය තුල ඇති මෙම ගැටලුව විසදීමට අවශ්‍ය බලතල අමාත්‍ය වරුන්ට ඇතත් ඒවා ක්‍රියාත්මක කර මෙම ගැටලුව විසදා ශ්‍රී ලාංකීය සිසු දරුවන් හා රටේ අභිමානයක් වන වන ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය රැකගැනීමට  වර්තමාන රජයට අවශ්‍ය නොවේද?
  • ශ්‍රීලංකා නීති විද්‍යාලය පාලනය වන නීති අධ්‍යාපන සභාව තුල සාධාරණම පුද්ගලයින් වන අගවිනිසුරුවරයා , නීතිපතිවරයා, අධිකරණ අමාත්‍යංශ ලේකම් වරයා,  ශේෂ්ටධිකරණ විනිසුරුතුමන්ලා නියෝජනය වන බැවින් එම සභාවෙන් මෙම සිසුන්ට සාධාරණයක් ඉටු නොවන්නේ ඇයි?  
රාජ්‍ය ප්‍රතිපත්ති වලට සම්බන්ධ කටයුත්තක් බැවින් නීතිමය බලතල වලට අනුව අධිකරණ අමාත්‍යවරයාට  නීති අධ්‍යාපන සභාවට නිර්දේශ ඉදිරිපත් කර මෙම ගැටලුව විසදිය හැකිය.

එසේත්  නැතිනම් තම අමාත්‍යංශය යටතේ පවතින හා රාජ්‍ය ප්‍රතිපත්ති වලට සම්බන්ධ කටයුත්තක් බැවින් ජනාධිපතිවරයාට සෘජුවම කැබිනට් පත්‍රිකාවක් මගින් මෙම ගැටලුවට විසදුමක් ලබා දිය හැකිය.

රටක ජාතියක අනාගතය උදෙසා සිසු දරුවන්ගේ අනාගතය පැහැදිලි ලෙස සකසා දිය යුතුය. විශ්ව විද්‍යාලයක් වසා දැමීම පහසූ වුවත් එය පවත්වාගෙන යාම අපහසුය. හුදෙක්ම තම වුර්තියට වැඩියෙන් පිරිසක් ඇතුලත් වුවහොත් එය ඔවුනට අවාසියක් ලෙස සිතන පාලකයන් සිටින රටක මෙවැනි සාධාරණයක් බලාපොරොත්තු විය නොහැක.

තරුණ ජවය අධ්‍යාපනයට වැය කිරීම රටකට ආයෝජනයකි. 

අධ්‍යාපනයට  බාධා  දමමින් අවහිර කරන්නේ නම්  එම තරුණ ජවය යොමුවන්නේ මත්ද්‍රව්‍ය, මංකොල්ල,නීතිවිරෝධී කටයුතු දෙසටය. එවැන්නකට ඉඩ සලසා අනේ අපොයි කීමට දක්ෂ පාලකයින්  බහුල රටක සිසුන්ගේ මානසිකත්වය තේරුම් ගත හැකි පාලකයින් සිටින්නේදැයි ප්‍රශ්නයකි.

දේශපාලන කෝණයකින්  සහ තමන්ගේ දරුවන් සහ අනික් දරුවන් ලෙස නොබලා සියලු දෙනා මේ රටේ දරවන් යැයි සිතන්නේ නම් මෙවැනි ප්‍රශ්න ඇති වන්නේ නැත.මෙවැනි කාලකන්නි බාධක දමමින්  අධ්‍යාපනය සිමා කරන පාලකයින් අනික් අතට රට දියුණු කිරීමට කතා කිරීම විහිළුවකි. 

යහපාලනයක් උදෙසා ජනතාව විසින් පත්කොට ගත් ජනාධිපතිවරයා  , අග්‍රාමාත්‍ය වරයා  ,අධිකරණ අමාත්‍යවරයා  හා උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා අසරණ වූ සිසු සිසුවියන්ට නිසි පිළිතුරක් ලබා දිය යුතුය. එසේ නොමැති නම් රටේ ජනතාවට රාජ්‍ය විශ්වාසය පිළිබදව ප්‍රශ්නයක් පැන නැගීමට ඉඩ ඇත.


Share on Google Plus