මහින්ද පිලට දැන් ජිනීවා හොඳයිලු


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට සිදුවන අකටයුතුකම් ගැන අන්තර් පාර්ලිමේන්තු සංගමය දැනුවත් කිරීම සඳහා ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන හා උදය ගම්මන්පිල යන මහත්වරුන් ඊයේ (29) රාත‍්‍රියේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගොස් තිබේ.

දිවයිනෙන් පිටත්ව යාමට පෙර ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ හෙට (31) පෙරවරුවේ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා හමුවී පාර්ලිමේන්තුවේදී කතා කිරීමට පැහැදිලි කාලයක් නොදීම ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් 53 දෙනෙකුට පාර්ලිමේන්තුවේදී සිදුවන අසාධාරණයන් ගැන ප්‍රධාන කාරණා 6ක් සහිත ලියවිල්ලක් එහිදී බාරදීමට බලාපොරොත්තු වන බව ය.

මේ ගැන කථානායකවරයා දැනුවත් කර ඇති බවත් ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් විදේශ සංචාරයක නිරත වු විටද ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධණ, විමල් වීරවංස වැනි මන්ත්‍රීවරුන් නිතර නිතර පැවසූවේ ඔවුන් විදේශ ගත වන්නේ ජාත්‍යන්තරය ඉදිරියේ රට හෑල්ලු කිරීමට බව ය. 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කුමණ කාරණයක් කීවද එය විදෙස් ගත වී ප්‍රකාශ කරන්නේනම් එය රටට අපකීර්තියක් බවත් එය අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවන්ට උඩගෙඩිදීමක් බවත් ඒ කාලයේ මහින්ද රාජපක්ෂ පාලනයේ බොහෝ ඇමතිවරු ප්‍රකාශ කළේ ය.




Share on Google Plus