ජැක්සන්ට විරෝධය.


මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම්වරයා පවා දැනුවත් නොකර මිහිඳු හිමියන් වැඩි මිහින්තලේ ඓතිහාසික පුදබිම ප‍්‍රසිද්ධ නළු ජැක්සන් ඇන්තනීගේ ටෙලිනාට්‍යක පසුබිමකට යොදා ගනිමින් රූගත කිරීමට ඉඩදීමෙන් එහි පූජනීයත්වයට හා ගෞරවයට විශාල කැළැලක් සිදුවන බව මිහින්තලේ ජනතාව පවසති.

රජ කතාවක් මුල්කරගෙන ටෙලිනාට්‍යයේ රූගත කිරීම් මේ දිනවල සිදුවෙයි.මිහින්තලේ කන්දේ මැදමළුවට පහළින් පිහිටි කණ්ඨක චෛත්‍ය ආසන්නයේ පිහිටි අටසැට ලෙන් (ගල්ගුහා* සහ බටහිර දෙසින් පිහිටි කටුසෑයට නුදුරු රාජගිරිලෙන් මේ ටෙලි නාට්‍ය රූගත කිරීමට යොදාගෙන තිබේ.

කණ්ඨක චෛත්‍ය අසල අටසැට ලෙන්වලට අයත් එක් ලෙනක් ඉදිරිපිට කාඞ්බෝඞ්වලින් බිත්තියක් නිර්මාණය කර ඇති අතර එමඟින් ගල්ලෙනේ ස්වාභාවික පෙනුමද වෙනස් වී ඇති අයුරු දක්නට ලැබේ.

මිහින්තල් ඓතිහාසික පුදබිමේ ටෙලි නාට්‍යයක් රූගත කිරීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමතයක් ලබාදී ඇති බව අනුරාධපුර පුරාවිද්‍යා කලාප කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියෙක් තහවුරු කෙළේය.

එපමණක් නොව ටෙලිනාට්‍ය රූගත කරන ස්ථානවල පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරීන් මෙන්ම පොලිසියද ආරක්ෂාවට යොදා තිබීම හේතුවෙන් බාහිර පුද්ගලයකුට ටෙලි නාට්‍ය රූගත කරන ස්ථානවල ඡුායාරූපයක් ගැනීමට පවා අවහිර වී තිබිණි.

මේ පිළිබඳව මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් රුවන් ඒකනායක මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ මිහින්තලේ පුරාවිද්‍යාත්මක ස්මාරක සහිත භූමියේ ටෙලි නාට්‍යයක් රූගත කරන බවට කිසිවකුත් තමා දැනුවත් කර නොමැති බවය.

මිහිඳු මාහිමියන් ශ‍්‍රී ලංකාවට බුදු දහම හඳුන්වා දුන් ලෝක බෞද්ධ ජනතාවගේ අති පූජනීය සිද්ධස්ථානයක, පෙර මහ රහතුන් වහන්සේට වැඩ සිටීමට රජ දරුවන් විසින් සකසා පූජා කළ ගල්ලෙන් ටෙලිනාට්‍ය රූගත කිරීමට පුරාවිද්‍යා බලධාරීන් විසින් අවසර දීම ගැන මිහින්තලේ බොදු ජනතාව විමතිය පළ කරති. විරෝධය පළ කරති.

පුරාවිද්‍යා ස්මාරක පිහිටි ප‍්‍රදේශවල ගසක අත්තක් කැපුවත්, වළක් හෑරුවත්, පොල් අතු වෙළෙඳසලක් ඉදිකළත් ඒවාට විරුද්ධව නීතිමය පියවර ගන්නා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් ටෙලිනාට්‍ය නිපදවන මෙවැනි ව්‍යාපාරිකයන්ට දින ගණනාවක් පුරාම පුරාවිද්‍යා පරිසරය හිතු මතයට ප‍්‍රයෝජනයට ගැනීමට ඉඩ දෙන්නේ කෙසේ දැයි ජනතාව විමසති.

Share on Google Plus