ගීතාට දින දෙයි.


ස්විට්සර්ලන්ත – ශ්‍රී ලංකා දිවිත්ව පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් සම්බන්ධව ප්‍රතිවිරෝධතා ලබන 18 වැනිදාට ගොනු කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා ඊයේ (02) පෙත්සම්කරුවනට නියෝග කර තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිලාභීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ නොහැකි වුවද ගීතා කුමාරසිංහ මහත්මිය ඉකුත් අගෝස්තු 17 වැනිදා පැවැති පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට පාර්ලිමේන්තුවට තේරී පත්වූ බව පෙත්සමෙහි සඳහන් වෙයි.

ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කේ.ඩබ්. බුවනෙක, ජේ.කේ. අමරවර්ධන ඇතුළු හතරදෙනකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලක, සන්ධාන මහ ලේකම් ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

තමන් ද්විත්ව පුරවැසිලාභියෙක් බවට ඉකුත් වසරේ ඉංග්‍රීසි පුවත්පතක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ගීතා කුමාරසිංහ මහත්මිය පවසා ඇතිබැවින් ද්විත්ව පුරවැසිලාභියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියට එම ධුරයේ කටයුතු කළ නොහැකි බවද පෙත්සම්කරුවෝ පවසති. 

එබැවින් ඇය එම ධුරයේ කටයුතු කිරීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටින අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා පෙනී සිටී.

Share on Google Plus