ආණ්ඩුව මුහුණ දෙන ණය උගුල සහ 'සංවර්ධනය නැවතිලා' විලාපය.


පසුගිය වසර කිහිපයක ඉදිවුණ මහාමාර්ග, ක්‍රීඩා පිටි ආදිය ඉදිකිරීම නැවතී ඇති බවට බොහෝ දෙනෙක් කියනු ඇසී ඇත. එයට හේතුව ලෙස සමහරුන් කියන්නේ නව රජය අකාර්යක්ෂම බවයි. ඉදිකිරීම් කටයුතු කිරීමට මුදල් අවශ්‍ය බව හැමෝම දන්නා දෙයකි. කෙනෙකුට ගෙයක් සාදා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා තමා අත ඇති මුදල්, හෝ අනාගතයේ ලැබෙන මුදල් හෝ ණය ගැණීම කල යුතුයි. ශ්‍රී ලංකාවේ බදු ආදායම රටේ එදිනෙදා වියදම පියවා ගැනීමට වත් ප්‍රමාණවත් නොවේ. එයට හේතුව බදු ගෙවන්නන් ප්‍රමාණය සීමා සහිත වීම නිසාය. එම නිසා සංවර්ධන වැඩ සැමදා සිදුවූයේ ණය වලිනි. 1970-80 දශකයේ විශාල ණය ප්‍රමාණයක් ලබා ගත්තේ මගවැලි ව්‍යාපාරයටය. එම ව්‍යාපාරය නිසා අද වන විට සහල් නිශ්පාදනයේ අතිරික්තයක් පවතී. එම නිසා එදිනෙදා පරිභෝජනයට සහල් ආනයනය කළයුතු නැත. එම නිසා විදේශ විනිමය ඉතිරිවේ. මහවැලි ව්‍යාපාරය සඳහා ගත් ණය ප්‍රමාණය අවුරුදු 12 කින් ගෙවා අවසන් කිරීමට රටට හැකිවිය. එසේ වූයේ ව්‍යාපෘති වල ගැන පෙර අධ්‍යනය කිරීමත් සහන පදනම යටතේ විදේශ ණය ලබා ගැනීමත් යන කරුණු දෙකය. ඊට අමතරව රටේ විදේශ ප්‍රතිපත්තිය නිසා වික්ටොරියා ව්‍යාපෘතිය එක්සත් රාජධානිය විසින් රටට ලබා දුන්නේ නොමිලයේය.

ලෝකයේ අඩු සහ සහන පොලියට සංවර්ධන ණය දෙන ආයතන කිහිපයක් ඇත. ඒවානම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැන්කුව (ADB), සහ ජපානය (JICA), ස්වීඩනය සහ ජර්මනිය (GIZ) වැනි රටවල රාජ්‍ය මුල්ය ආයතනයන්ය. එම ණය ලබා ගැණීමට ආදාල ව්‍යාපෘති වල සාධ්‍යතා වාර්ථා (feasibility Reports) සහ පාරිසරික වාර්ථා (Reports on impact on the environment) ආදිය ඉදිරිපත් කල යුතුය. ව්‍යාපෘති වියදම ගැන සහ එයින් රටට වන ප්‍රයෝජනය, ව්‍යාපෘතිය නිසා වන පාරිසරික බලපෑම ආදිය පිලිබඳව ණය දෙන ආයතන සෑහීමකට පත්වන්නේ නම් පමණක් ණය ලබා ගත හැක. මේ ණය සඳහා අතරමැදියන් නැති අතර ණය ලබා දෙන්නේ රජයටය.   ව්‍යාපෘතියක වාසි දීර්ඝ කාලයකින් ලැබෙනවිට ඒ සඳහා මෙවන් දීර්ඝ කාලීන සහ අඩු පොලී ණය ලබා ගැනීම ඉතා වැදගත් වෙයි. එයට ප්‍රධානතම හේතුව ණය පොලිය හෝ ණය වාරික ගෙවීමට විදේශ මුදල් සොයා ගැනීමට සිදුවන්නේ එක වසරකට සුළු ප්‍රමාණයක් නිසාය.  

ආර්ථික ක්‍රම වෙනසකින් ලඟදී විශාල වශයෙන් පොහොසත් වූ චීනය පසුගිය දශකයේදී විශාල වශයෙන් ණය ලබා දෙන්නෙක් ලෙස ඉදිරියට පැමිණියේය. මෙහිදී ණය ලබා දීමට feasible ව්‍යාපෘතියක් වීම, පාරිසරික බලපෑම් අඩුවීම ආදිය සලකන ලද කාරණා නොවීය. එයට හේතුව ණය ලබා දුන්නේ 8% වැනි විශාල පොලී අනුපාතයකට වීම නිසාය. චීනය ඇමෙරිකාවටත් විශාල වශයෙන් ණය ලබා දී තිබුණත් ඒවායේ පොලී අනුපාතය 1-2% පමණ විය. අතිවිශාල ලෙස විදේශ සම්පත් ඉපයූ චීනයට තම මුදල් ගිණි පොලියට ආයෝජනය කිරීමට හැකි වූයේ මෙම ලිහිල් ණය ප්‍රතිපත්තිය නිසාය. තවද ණය ගන්නා රටවල් නිලධාරීන්ට අති විශාල ලෙස සන්තෝසම් දීමට මෙම වාසි සහගත පොලී අනුපාතය නිසා චීනයට හැකිවිය. රොබට් මුගාබේ ගේ සිම්බාබ්වේ, යේමනය, සියෙරා ලියොන්, සිරියාව, එක්වදෝරය, රාජපක්ශ ගේ ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ  දූශිත පාලකයින්ට චීනයේ ණය විශාල උල්පතක් විය. එයට හේතුව වූයේ සාධ්‍යතා වාර්ථා (feasibility reports) අවශ්‍ය නොවන බැවින් ඩොලර් 100 ක් අවශ්‍ය වන ව්‍යාපෘතියකට ඩොලර් 1,000 ක් ණය ගත්තත් ඒ පිලිබඳව ප්‍රශ්ණ කිරීමක් නොවන නිසාය. ණය ගැනීම සඳහා දෙන සන්තෝසම් සහ ව්‍යාපෘති වටිනාකම වැඩිකර දැක්වීමෙන් දෙන කොටස මෙරට හරහා නොව අදාල පුද්ගලයන්ගේ විදේශ ගිණුම් වල තැන්පත් කිරීමත් මෙම ණය දෙන අය විසින්ම සලසා දෙනු ලැබේ. රටේ ශේශ පත්‍රය උගුරටම හිර කර මේ ක්‍රමයට රටට දැරිය නොහැකි ප්‍රමාණයක් ණය ගත් පසුව මහින්ද - කබ්‍රාල්  දෙබෑයන් කලේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුළු රජයේ බැංකු වට ගිණි පොලී විදේශ ණය ගෙන ඒවා එම බැංකුවලින් රජයට ගැණීමයි. ඒවාට භාණ්ඩාගාර සහතික (Treasury Guarantees) නිකුත් කර ඇති බැවින් එම ණය ගෙවීමටද රජය විදේශ මුදල් සොයා ගත යුතුය.   


හම්බන්තොට පරිපාලන ගොඩනැගිලි 
හම්බන්තොට පරිපාලන ගොඩනැගිලි 
ලෝක බැංකුවෙන්  0.5% පොලී අනුපාතයට අවුරුදු 30 ක කාලයකට ණයක් ගතහොත් ණය ප්‍රමාණය එකවර ගෙවන්නේ  නම් සහ පොලිය අවුරුදු පතා ගෙවන්නේ නම් ඩොලර් 100 ක් ණයක් ගෙවා අවසන් කරන විට ගෙවීමට සිදුවන්නේ  ඩොලර් 115 කි. සියයට 8 පොලියට ගතහොත් එම ක්‍රමයටම ඩොලර් 340 ක් ගෙවිය යුතුවේ. සාධ්‍යතා වාර්ථා (Feasibility Reports) අවශ්‍ය නැති බැවින් ඩොලර් 100 ක ව්‍යාපෘතිය ඩොලර් 130 ක වියදමින් කලොත් ගෙවිය යුතු මුදල ඩොලර් 442 කි. තවද සාධ්‍යතා වාර්ථා (Feasibility Reports) ඉදිරිපත් කිරීම අවශ්‍ය නොමැති බැවින් රට ආර්ථික වාසියක් නැති (without a payback) ව්‍යාපෘති සිදු කලහොත් මෙම මුදල් සොයා ගැනීමට තවත් ණය ගැනීමට සිදුවේ . එලෙස කල විට රටක් වැටෙන්නේ ණය උගුලකටය. මෙසේ අසීමාන්තික ලෙස ණයවන රටවල් තමන්ගේ භූ දේශපාලනික අරමුණු වෙනුවෙන් නම්මවා ගැනීමට ඇති හැකියාව චීනයට තවත් වාසියක් විය. උදාහරණයකට පෝට් සිටි ව්‍යාපෘතිය ගැන නව රජය ප්‍රශ්ණ කල විට චීනය විසින් ණය ගැන කල තර්ජනය හමුවේ චීනය සමඟ සංහිඳියා පිලිවෙතකට යාමට රජයට සිදුවිය. 

හම්බන්තොට සම්මන්තරණ ශාලාව
1970 ගණන් වලදී ලංකාවට ත්‍යාගයක් ලෙස සම්මන්තරණ ශාලාවක් ලබා දුන් චීනය එවන්ම සම්මන්ත්‍රණ ශාලාවක් කිසිම සම්මන්ත්‍රණයක් නොපැවත්වෙන හම්බන්තොට ද්‍රිස්තික්කයට 'ලබා දී'   ඇත්තේ ගිණි පොලියට ණයක් වශයෙනි. නැව් පැමිණීම අඩු වරාය, ආදායම් නොලබන ක්‍රීඩා පිටි, ආදායම් නොලබන විශාල උද්‍යාන  සියල්ලටම වියදම් වී ඇත්තේ ගිණි පොලියට ලබා ගත් ණය මුදල්ය. මෙම සුදු අලි ව්‍යාපෘති නූගත් මහජනයාට කොන්ක්‍රීට් සංවර්ධනයක් මවා පෙන්වීමට යොදාගන්නා අතරම ඔවුන්ගේ සාක්කු ඩොලර් මිලියන ගණනින් පිරී යන බව දන්නේ ඔවුන්ම පමණය.

සූරියවැව ක්‍රීඩාංගණය
ආණ්ඩුව මාරුවූ පමණින් මෙම ව්‍යාපෘති වලින් ආදායම් ලැබීමක් සිදු නොවේ. තවද ගිණි පොලියට ගත් ණය එසේ ගත් අය නොගෙවන අතර රට විසින් ගෙවිය යුතුය. එනම් රාජපක්ශ සංවර්ධන තොරණේ ලයිට් බිල ගෙවීමට සිදුවී ඇත්තේ අදයි. කලින් කලාක් මෙන ණය ගෙවීමටත් තවත් ගිණි පොලී ණය නොගන්නේ නම් ඒ සඳහා මුල්‍ය අරමුදලෙන් උදව් ලබා ගත යුතුය. දේශීය ණය තත්ත්වය මීට දෙවෙනි නොවේ. මග නැගුමේ ව්‍යාපෘති ගැන විස්තර පුදුම එලවන සුළුය. නමුත් හිටපු සංවර්ධන සභා මන්ත්‍රීන් හිටපු නායකයා වටා රොක්වීමට හේතු තේරුම් ගැනීමට මෙම උදාහරණය ප්‍රයෝජනවත් විය හැක. මිනී මැරීම් ස්ත්‍රී දූශණ ආදී ක්‍රියා වලට නඩු නොපැරවූ උදව් වලට අමතරව ඔවුන්ට මිලියන ගණන් හොයා ගැනීමට අවස්ථාවන් සලසා දී ඇති ආකාරය අපූරුය. ඔවුන් සියළු දෙනාටම පාහේ තමන් කැමති ව්‍යාපෘතියක් සඳහා මුදල් ලබා ගැනීමට ඉඩ දී ඇත. උදාහරණයකට මෙහිදී බොහෝ දෙනා කර ඇත්තේ කිලෝ මීටර් 5 කට තාර දැමීමට මිලියන 200 ක් 
මුදල් ගසා කෑ පාරවල්    
යන්නේ නම් ඒ සඳහා බිලියනයක පමණ මිල ගණන් ඉදිරිපත් කර මුදල් ලබා ගෙන සුළු මුදලකට කොන්ත්‍රාත් කරුවකු ලවා තාර දම්මා ගෙන ඉතිරි විශාල මුදල ගසා කෑමය. එමනිසා කිසිම ඉල්ලීමකින් තොරව වුවත් රට පුරා පාරවල් වලට තාර වැටිනි. සමහර ව්‍යාපෘති සඳහා වියදම් සඳහා ප්‍රතිපාදන ලබා නැති අතර පොත්වල නැති ව්‍යාපෘති වියදම් පියවීමට නව රජයට සිදුවී තිබේ.

සංවර්ධනය නැවතිලාද යන ප්‍රශ්ණයට පිළිතුර නම් උදාහරණයකට උතුරු අධිවේගී මාරගයට ආසියානු සංවර්ධන බංකුව වැනි ආයතන කිහිපයකින් කොටස් වලට ණය අයැදුම් කර ඇති අතර ඒවා අනුමත වීමත් සමඟ ඒවා ඉදිකිරීම් ආරම්භ වනු ඇති බවය. වෙනස නම් එම ණය දීර්ඝ කාලීන අඩු පොලී හෝ පොලී රහිත ණය වනු ඇත.  

 ආර්ථිකය රින අගයකට යොමුකොට (උතුරේ හමුදා කඳවුරු අතහැර පලා ආ හමුදා සමඟ) 2001 දී රට භාරගත් රනිල් අවුරුදු 3 කින් ආර්ථික හැඩගස්වා රට ගොඩ ගත් පසුව නැවත පාලනය උදුරාගත් යුගයේදී මෙන් දස ගුණයක් හිර වූ ආර්ථිකයකට මුහුණ දීමට රනිල්ට මෙවර සිදුවී ඇත. එය ඔහුගේ අවසනාවකි. අද ආණ්ඩුව සිර වී සිටින්නේ මේ උගුලේය. මේ ගැන මහජනතාව දැනුවත් කිරීමට මුදල් අමාත්‍ය වරයාට සහ අගමැතිවරයාට ඇති සංනිවේදන දුර්වලතාව නිසා මුල්‍ය කටයුතු ගැන මෙලෝ හසරක් නොදත් බොහෝ දෙනා සිතන්නේ කලින් ඉතා හොඳට තිබූ ලංකාවේ ආර්ථිකය නව රජය බලයට පත්වී අවුරුද්දකින් නරක අතට හැරී ඇති බවයි. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ රට මේ තත්වයට ඇද දැමීමට  වගකිව යුතු හොරු රංචුවම වීම නම් සරදමකි.


Ian's Den ඉයන්ගේ අඩවිය

Share on Google Plus