'අධිකරණයේ දී මෙහෙම නම් වරාය අධිකාරියේ දී කොහොම ඇද්ද?'





මහජන තනතුරක් දරන සැකකරු අධිකරණ භූමියේදී මේ ආකාරයෙන් හැසිරෙන්නේ නම් ඔහු වරාය අධිකාරිය තුළ හැසිරෙන්නේ කෙසේද යන්න අධිකරණයට සිතා ගත හැකි බව ධම්මික රණතුංග සම්බන්ධ නඩු විභාගය අතරතුර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදීන්ට තර්ජනය කළ බවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිධම්මික රණතුංගට එල්ලවී ඇති චෝදනාවට අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ දීය මහේස්ත්‍රාත්වරයා මෙසේ ප්‍රකාශ කළේ.

අර්ජුන රණතුංග රටට කීර්තියක් ගෙන දුන් පුද්ගලයෙකු බවත් එම කීර්තියට හානියක් නොවන පරිදි කටයුතු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා සැකකාර ධම්මික රණතුංගට අවවාද කළේය.

අධිකරණයට පැමිණසිටි සැකකාර ධම්මික රණතුංග ට විශේෂ වරප්‍රසාද ලබා දීම පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත්වරයා පොලිසියට චෝදනා කළේය.

ජංගම දුරකථනය

අධිකරණයට කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ ව රූපවාහිනි නාලිකාවලින් විකාශය කල වීඩියෝ පට ලබාගැනීමට අවශ්‍ය බවයි පොලිසිය කියා සිටියේ.

මෙහිදී පොලිසියට චෝදනා එල්ල කල මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියේ වැදගත් නඩු භාණ්ඩයක් වන සැකකරුගේ ජංගම දුරකථනය පොලිසිය භාරයට නොගත්තේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

සැකකරුවෙකු ලෙස නම්කර තිබියදීත් සැකකරුගේ ප්‍රකාශයක් සටහන් කර නොගැනීම පිළිබඳව පොලිසියට චෝදනා එල්ල කල මහේස්ත්‍රාත්වරයා වහාම අද දින පොලිසියට ගොස් කට උත්තර ලබා දෙන මෙන් සැකකාර ධම්මික රණතුංගට නියෝග කල බව අගතියට පත් මාධ්‍යකරුවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදී අජිත් පතිරණ පැවසීය.

සමථ මණ්ඩලය

අනතුරුව සැකකාර ධම්මික රණතුංග ඇප මත මුදා හළ අධිකරණය වැඩිදුර කටයුතු කිරීම සදහා අදාළ පැමිණිල්ල සමථ මණ්ඩලය වෙත යොමු කරන්නැයි නියෝග කළේය.

නඩු විභාගය අවසන් වීමෙන් පසුව මාධවේදීන් සැකකාර ධම්මික රණතුංගගේ අදහස් විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ මෙම සිද්ධියට අදාළ ව අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන බැවින් තමන්ට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.



Share on Google Plus