මුස්ලිම් කොංග්‍රසය දෙදරයි - නායකත්වයට විවේචන


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ අර්බුද ඇති කරන කණ්ඩායම් පිළිබඳව පක්ෂය විසින්ම තීරණයක් ගනු ඇතැයි එහි නායක අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කළා. 

ඔහු කියා සිටියේ පක්ෂය තුළ යම් බෙදීමක් පවතින බව තමන් පිළිගන්නා බවයි.මුස්ලිම් කොංග්‍රසයේ අර්බුදයක් පවතින බවට දින කිහිපයක සිට විවිධ වාර්තා පළ වුණා. 

පක්ෂ නායකත්වය විවේචනය කළ අයෙකු ඉන් ඉවත් කර ඇති බවට ද අදාළ වාර්තාවල සදහන් වීම විශේෂත්වයක්.මේ පිළිබදව මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් හසන් අලි කියා සිටියේ පක්ෂය තුළ යම් ගැටළුවක් පැවතුණත්, එය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට අපේක්ෂා කරන බවයි

මේ අතර, හසන් අලි මහලේකම්වරයා ද නායකත්වය සම්බන්ධයෙන් විවේචනාත්මක මතයක සිටින බවට වාර්තා වනවා. ඒ පිළිබද විමසීමේදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. 

පක්ෂවල ගැටළු ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් බව ද ඔහු සදහන් කළා. පසුගිය දා අක්කරෙයිපත්තුවේ පැවැති මුස්ලිම් කොංග්‍රසයේ වාර්ෂික සමුළුවේ කටයුතු පිළිබදව ද ඇතැම් සාමාජිකයන් අතර විවිධ ගැටළු මතු වී ඇති බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රවුෆ් හකීම්ට එරෙහිව පසුගිය දා අක්කරෙයිපත්තුව නගරයේදී විරෝධතාවක් ද පැවැත්වුණා. 

ඒ, අක්කරෙයිපත්තුව ප්‍රාදේශීය ජල සම්පාදන කාර්යාලය, කල්මුනේ ප්‍රදේශයට ගෙන යාමට අමාත්‍යවරයා ගත් තීරණයකට විරෝධය පළ කරමින්.


Share on Google Plus