රට හදන්න එකතු වෙන්න!


යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ජාති ආගම් පක්ෂ බේද ඉවතලා සියලු දෙන එකතුව කටයුතු කලයුතු බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

වසර 27කට පසු සීගිරියේදී පැවැත්වෙන යොවුන්පුර වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මෙම අදහස් පැවසීය. සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි  තරුණ තරුණියන් 5000ක් මේසඳහා සහභාගී වේ. මාර්තු 30න් ආරම්භ වූ යොවුන්පුරය එළඹෙන  අප්‍රේල් 02 වනදා දක්වා පැවැත්වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

අද අපේ රට අලුත් දිශාවකට ගමන් කරමින් තිබෙනවා. එහි සාර්ථකත්වය ලබන්න  රටේ තාරුණ්‍යයේ බුද්ධිය,  ශක්තිය ඊට එකතු කිරීම ඉතාමත් වැදගත්. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තාරුණ්‍ය  රටේ සන්වර්ධනයට එකතු කර ගැනීමට අවශ්‍ය කටයුතු සුදානම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව අද මුහුණ දෙමින් තිබෙන අභියෝග හමුවේ තාරුණ්‍යයේ සහයෝගය ඉතාමත් වැදගත්. අද අපේ රට තිබෙන්නේ  වැදගත් සන්ධිස්ථානයක.  බොහෝ රටවල් ඉදිරි සංවර්ධන පියවර වලට ළඟා වී තිබෙන්නේ එරට තාරුණ්‍යයේ ජවය උපයෝගී කර ගනිමින්.

ශ්‍රී ලංකාව ඒ සඳහා සුදානම් වියයුතුයි. අද අපි ජාත්‍යන්තර අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් තත්වයකට පැමිණ තිබෙනවා. ජාතික හා ජාත්‍යන්තරව ඒ අභියෝගයන්ට මුහුණ දීමේදී තාරුණ්‍ය බල ගැන්වීම ඉතාමත් අවශ්‍යයි. යොවුන්පුරය මගින් එකී බල ගැන්වීම ඉතාමත් සාර්ථකව සිදු වෙනවා. වත්මන් තාරුණ්‍ය තාක්ෂණයෙන්, බුද්ධියෙන්, නිපුනතාවයෙන් බල ගැන්වීම මෙම යෝවුන්පුරය හරහා සිදු කිරීම ඉතාමත් වැදගත්.



මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා.

යොවුන් පුරය පළමු වරට ආරම්භ වුනේ වත්මන් අග්‍රාමාත්‍යතුමා අධ්‍යාපන සහ තරුණ කටයුතු අමාත්‍යවරයාව සිටියෙදී, මම ඒ  කාලයේ පාසල් ශිෂ්‍යයෙක් එදා මම කල්පනා කළා මෙම වැඩසටහනට සම්භන්ධ වෙන්න තිබුනානම් කොච්චර හොදද කියලා.අද මට එතුමාගේම කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙක් ලෙස මෙම වැඩසටහනට සම්භන්ධ වෙන්න මට අවස්ථාව උදා උනා. 1977 ජයවර්ධන ජනාධිපති තුමාගේ විප්ලවයේ ප්‍රධාන කණුවක් වුණේ තරුණ ජවයයි. ඒ ජවය බල ගන්වන අවස්ථාව එතුමා ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාටයි. 1994න් පස්සේ අපි එවැනි තත්වයක්  දැක්කේ නෑ. නැවත 2002 දී යොවුන් සේනාංකය හදුන්වා දෙන්න රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා.

අද ප්‍රධාන පක්ෂ දෙක වගේම විපක්ෂයේත් සහයෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න පවා ලැබෙනවා. අපි මෙහෙම එකතු උනේ රටේ යහපත වෙනුවෙන් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින්, තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.


Share on Google Plus