මන්ත්‍රින් 100කගේ බාර් ලයිසන් අහෝසියි.


ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සහ ඔවුන්ගේ අනුදැනුම මත සිය හිතවතුන්ට ලබාදී ඇති මත්පැන් බලපත්‍ර සියල්ලම අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීමට ආගමික නායකයෝ සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු සූදානම් වෙති.

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී මෙලෙස මත්පැන් බලපත්‍ර 100කට අධික සංඛ්‍යාවක් ලබාදීමට කටයුතු කර ඇති බවට තොරතුරු හෙළිදරව් වීම නිසා ආගමික නායකයන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මේ පියවර ගැනීමට තීරණය කර ඇත.

පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද මේ පිළිබඳ සාකච්ඡාවට භාජන වී ඇති අතර වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කර ඇත.

එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට දැනුම් දී ඇත්තේ මේ පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් වහාම ලබාදෙන ලෙසය.

ඒ අනුව මත්පැන් බලපත්‍ර හිමි දේශපාලනඥයන්, ඔවුන්ගේ මැදිහත්වීමෙන් මත්පැන් බලපත්‍ර ලබාගත් පුද්ගලයන් පිළිබඳ සවිස්තර තොරතුරු ඇතුළත් වාර්තාවක් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබන සතියේදී ලබාදීමට නියමිතය.

Share on Google Plus