යෝෂිත ඇතුළට, ඊළඟට...?


බරපතළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්, රාජපක්ෂ පවුලේ ප්‍රබලයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවට සති කිහිපයක් තිස්සේ පැතිරෙමින් තිබූ පුවත, පසුගිය තිස් වැනිදා සැබෑවක් බවට පත්විණි. ඒ හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමත් සමඟය. කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් (සී. එස්. එන්.) ආයතනයට ලැබුණු රුපියල් කෝටි ගණනක මුදල් හා වත්කම්, සම්බන්ධයෙන් ලැබීම් හා වියදම් කිරීම් පිළිබඳ තොරතුරු පිළිගත හැකි ආකාරයට හෙළි නොකරන ලදැයි කියන සිද්ධියකට අදාළව යෝෂිත ඇතුළු පස්දෙනෙකු එසේ අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුව සඳහන් කර තිබූ ආකාරයට එම නීති විරෝධි ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 234ක් පමණ වේ. ඊට අමතරව කූඨ ලේඛන පිළියෙල කිරීම, ඒවා සාපරාධී පරිහරණය, සමාගම් පනත හා රේගු පනත උල්ලංඝනය කිරීම, රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් ද යෝෂිත ඇතුළු පිරිසට චෝදනා එල්ල වී තිබිණි. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳ කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, මෙම අත්අඩංගුවට ගැනීම සෙනසුරාදා සිදුවන ලදී.

යෝෂිත ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හෙළිව තිබියදීත් එය දිනෙන් දින කල් යෑම සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව බලයට රැගෙන ඒමේදී තීරණාත්මක වැඩ කොටසක් ඉටුකළ සිවිල් සමාජ ක්‍රියාකාරින් තුළ වූයේ එතරම් පහන් හැඟීමක් නොවේ. යෝෂිත සම්බන්ධයෙන් පමණක් නොව පොදුවේ ගත් විට දූෂණ වංචාවනට සම්බන්ධ පසුගිය රජයේ ප්‍රබලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ගැන ඔවුන් තුළ වූයේ විරෝධයකි. විසි අට වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ඉහළ මට්ටමේ සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් වන තම අප්‍රසාදය පිට කිරීමට, මහාචාර්ය සරත් විජේසූරිය, සමන් රත්නප්‍රිය ඇතුළු කණ්ඩායම කටයුතු කළහ. "හොරුන් වංචනිකයන් ගැන තවදුරටත් මෙහෙම නිහඬව හිටියොත් අපිට තීරණයක් ගන්න වෙනවා" 'යහපාලන වෙනස' සිදුකිරීමේදී තීරණාත්මක වැඩ කොටසක් ඉටුකළ සිවිල් සමාජ ක්‍රියාකාරීහු වෙතින් මතු වූ ඒ ඉල්ලීම සුළුපටු නොවීය.

මහින්දගෙන් යෝෂිතට ඇමතුමක් 

සෙනසුරාදා දිනයේ දී යෝෂිතව අත්අඩංගුවට ගැනීමට නියමිත බවට කල්තියාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනගන්නට ලැබුණි. ඒ වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරයකු මර්ගයෙනි. පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කාරණයක් සම්බන්ධයෙන් නිතර මාධ්‍යයෙහි නම කියවුණු එම ඇමැතිවරයාගෙන් ලද පණිවුඩය තමන්ට තවමත් දැඩි සේ හිතවත් ආරක්ෂක ප්‍රධානියකු අමතා හිටපු ජනාධිපතිවරයා ඉක්මනින්ම තහවුරු කරගත්තේය. ඔහු යෝෂිතට ඒ බව දැනුම් දුන්නේ ඉන් පසුවය. පණිවුඩය දීමට මහින්ද තම පුත්‍රයාව සොයද්දී ඔහු සිටියේ ත්‍රිකුණාමලයේය. "පුතා ඔයාව ඇරෙස්ට් කරන්නයි යන්නේ" හිටපු ජනාධිපතිවරයා පවසද්දී, යෝෂිත එය දැන සිටියේය. "මම ඒක දන්නවා. මාව නාවික හමුදා මූලස්ථානයට කැඳවලා තියෙනවා" යෝෂිත පැවැසීය.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු ද වන යෝෂිත දැන් ක්‍රියාත්මක අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේදී නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරයි. සෑහෙන කලකට පසු තම ක්‍රීඩා දිවියේ උපරිමයට පැමිණ සිටින යෝෂිත මෙවර තරග වාරයේ වැඩිම උත්සාහක දිනුම් රැස් කළ ක්‍රීඩකයා ද වේ. සෙනසුරාදා සන්ධ්‍යාවේදී ඔහු ප්‍රබල හැව්ලොක් පිල සමඟ තරගයකට සූදානම් වෙමින් සිටියේය. නමුත් සිකුරාදා රාත්‍රිය එළඹෙද්දී ඒ තරගයට ක්‍රීඩා කිරීම සම්බන්ධව යෝෂිතට තිබුණේ අඩු බලාපොරොත්තුවකි. "මට හෙට හෙඩ් ක්වාටර්ස්වලට එන්න කියලා තියෙනවා. ඒ නිසා මැච් එක ගහන්න පුළුවන්ද කියලා ෂුවර් නැහැ. ගුඩ් ලක් බෝයිස්" යනුවෙන් ඔහු තම සහෝදර ක්‍රීඩකයන්ට හා පුහුණුකරු නිලුෆර් ඉබ්‍රාහීම්ට සුබ පැතුවේය.

පෙරවරු නවයට නාවික හමුදා මූලස්ථානයට පැමිණි යෝෂිතගෙන් පැය හයකට ආසන්න කාලයක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ප්‍රශ්න කළ අතර සී. එස්. එන්. හා සම්බන්ධ ගනුදෙනු සම්බන්ධයෙන් ඔහු එම පරීක්ෂකයන් හමුවේ ලබාදුන් පිළිතුරු සතුටුදායක මට්ටමක නොවීය. යෝෂිතව අත්අඩංගුවට ගත්තේ ඉන් පසුවය. ඔහුට අමතරව ඊට අදාළ සෙසු සැකකරුවන් ද අත්අඩංගුවට ගත් පසු කණ්ඩායමක් ලෙස ඔවුන්ව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු පියවර ගත්හ. හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයාට අමතරව අත්අඩංගුවට ගත් පිරිස වූයේ සී එස් එන් නාළිකාවේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, අෂාන් රවිනාත් ප්‍රනාන්දු හා කවිෂාන් දිසානායක යන අයය.

අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන්ව පස්වරු 6.30ට පමණ අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔවුන්ව උසාවි භූමියට රැගෙන එද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටීම් කරන කණ්ඩායමේ දේශපාලනඥයන් රැසක් හා ඔවුන්ගේ ආධාරකරුවෝ විශාල පිරිසක් ද මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියහ.

නීති තර්ක රැසක්

ඒ මොහොත වන විට අධිකරණ කටයුතු කරනු ලබන වේලාව ඉක්මවා ගොස් තිබුණ ද පොලීසිය කළ පූර්ව දැනුම් දීමකට අනුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනතුරු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා තම නිල මැදිරියට වී රැඳී සිටියේය. අනතුරුව, නිල මැදිරියේදී පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, ජයන්ත වීරසිංහ ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.

ප්‍රබල නීති තර්ක රැසක් ඉදිරිපත් කරමින්, කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා තම සේවාදායකයන් වෙනුවෙන් ඇප ඉල්ලා සිටි මුත්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු සිද්ධියට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින්, සැකකරුවන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වැරැදි සිදුකර ඇති බව දැනුම් දුන්හ. යෝෂිත ඇතුළු පිරිස ලබන බ්‍රහස්පතින්දා තෙක් රිමාන්ඩ් භාරයට පත්කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ ඒ සියලු තර්ක විතර්කවලට සාවධානව කන් දීමෙන් පසුය.

සීඑස්එන් ආයතනය හා සම්බන්ධ තම විමර්ශනයන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඇරැඹුවේ පොලිස්පතිවරයා ලබාදුන් නියෝගයකට අනුවය. මුදල් විශුද්ධිකරණය යටතේ සීඑස්එන්හි වරදක් සිදුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසියන් 2015 මාර්තු 15 වැනි දා කර තිබූ පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයා එම නියෝගය ලබා දී තිබිණි. කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් තිබූ තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට රටේ සාමාන්‍ය නීතිය යටතේ කළ එම විමර්ශනයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමත් වූ බව පෙනෙන්නට ඇත. සැබැවින්ම සී එස් එන් හි ඉතිහාසය දෙස ආපසු හැරීමක් සිදු කෙරුම යනු රසවත් වූ කථාන්දරයක්මය.

සී.එස්.එන් ඉතිහාසය

මීට වසර 5කට පෙර සී එස් එන් ආයතනය අරඹද්දී එහි ලිපිනය ලෙස ලියාපදිංචිව ලබා දී තිබුණේ අංක 260/12, ටොරින්ටන් ඇවනිව් කොළඹ 05 ය. රාජපක්ෂවරුන්ගේ සෙසු ප්‍රධාන ව්‍යාපෘති වූ සිරිලිය සවිය, තාරුණ්‍යයට හෙටක් යන ඒවා ද ලියාපදිංචි කර තිබුණේ මේ ලිපිනය යටතේය. එය සී එස් එන් හා රාජපක්ෂවරුන් අතර ඇති සමීප සම්බන්ධය පෙන්වන වැදගත් සාක්ෂියකි. සී එස් එන් රූපවාහිනී නාළිකාව ඇරැඹීම සඳහා රුපියල් මිලියන 230ක් වූ ප්‍රාග්ධනය සොයා ගත් ආකාරය ලෙස සඳහන් කර ඇත්තේ කොස්මොස් ටෙක්නොලජීස් සමාගමෙන් රුපියල් මිලියන 50ක්, කොස්මොස් ප්‍රින්ටින් ආයතනයෙන් රුපියල් මිලියන 50ක්, පෑන් ඒෂියා බැංකුවේ සභාපති, නිමල් පෙරේරාගෙන් රුපියල් මිලියන 52ක්, එල්ඕඑල්සී සමාගමෙන් ණයක් ලෙස රුපියල් මිලියන 50ක්, හා චෙස්මි කොන්සලිඩේට්ස් ආයතනයෙන් රුපියල් මිලියන 25ක් ආදි වශයෙන් වූ ලබාගැනීම්ය.

නමුත් මූල්‍ය අපරාධ කොට්ඨාසය තම විමර්ශන පිළිබඳ B/1823/15 යටතේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමේදී ඉහත කී ආකාරයට මුදල් ලබාදීමක් නිමල් පෙරේරා සිදුකර නොමැති බව දක්වා ඇත. එසේ ම කොස්මොස් ටෙක්නොලජිස් ආයතනය ද එසේ මුදල් ලබාදීමක් සිදු නොකළ බව පරීක්ෂකයන් තම ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගෙන තිබේ. එම ආයතනයේ ප්‍රධාන උපදේශකයා වනුයේ හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනය. ඔහුගේ බිරිය ටියානා දියන්ති ඇන්තනීයස් එහි අධ්‍යක්ෂවරියකි. සී එස් එන් නාළිකාව, ඇරැඹීම සඳහා මුදල් ලැබුණු ආකාරය පිළිබඳ එබඳු සැක සංකා ගණනාවක්ම පවතී.

ටොරින්ටන් හි ලිපිනයකට ලියාපදිංචි කළ ද සී එස් එන් නාළිකාව ක්‍රියාත්මක වූයේ බත්තරමුල්ලේ සිටය. එහි ව්‍යාපාරික ලිපිනය වූයේ 236/01, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ලය. රාජපක්ෂ අනුස්මරණ, අධ්‍යාපනික සංස්කෘතික හා සමාජ සේවා පදනමේ, මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා ඉහළ වටිනාකමක් සහිත එම ඉඩම 2003 වසරේ දෙසැම්බර් තුන් වැනිදා කැබිනට් පත්‍රිකා අංක 10/8/1/602 යටතේ ඉඩම ලැබුණු හැටි. සමාජ සේවාවන්හි නිරත බව කියු එම පදනමට ලබා දී තිබිණි. වාණිජ රූපවාහිනි ආයතනයක් පවත්වාගෙන යෑම සඳහා ලබාගෙන තිබුණේ රජයෙන් පිනට ලැබුණු ඒ ඉඩමය.

ඒ හැටි ‍ප්‍රසිද්ධ පෙනී සිටීම් නොකළ ද යෝෂිත සී එස් එන් හි සභාපතිවරයා ලෙස කටයුතු කළ බවට තොරතුරු රැසක් හෙළිව ඇත. ඒ වසරකට ආසන්න කාලයක් සී එස් එන් පිළිබඳ කළ පරීක්ෂණවලින් අනතුරුවය. මේ අතර ඊමේල් පණිවුඩ දහස් ගණනකින් යෝෂිත මෙම නාළිකාවේ ප්‍රධානියා ලෙස අනාවරණය වී ඇති බව පසුගිය දා පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ආරක්ෂක ප්‍රධානීන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කර ඇත.

යෝෂිතව අත්අඩංගුවට ගැනීම දේශපාලනික කාරණාවක් බවට පත්වීම නොවැළැක්විය හැකි වූයේ ඔහු හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍රයකු වීම නිසාය. අපේක්ෂා කළ යුතු ආකාරයටම ඒකාබද්ධ විපක්ෂය සටන අතට ගත්තේ මෙය දේශපාලන පළිගැනීමක් බව කියමිනි. ඉන් නොනැවතුණු ඔවුහු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අහෝසි කළ යුතු බව කියමින්, ඊට එරෙහිව සමාජ මතයක්ද නිර්මාණය කරන්නට විය. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තම සෝදිසි බැල්ම යොමුකර ඇති රජය නියෝජනය කරන ශ්‍රීලනිපයට සම්බන්ධ දේශපාලනඥයන් ද වැඩි කල් නොගෙන ඊට අත්වැල් අල්ලන්නට විය.

2015. 01. 21 සහ 2015. 02. 12 යන දිනයන්හි කැබිනට් මණ්ඩලය ගත් තීරණ ප්‍රකාරව පොලිස් අඥා පනතේ 55 වන වගන්තිය යටතේ බරපතළ ගණයේ මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා වෙනම පොලිස් කොට්ඨාසයක් ලෙස ස්ථාපිත කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පහත සඳහන් අපරාධ විමර්ශනය කිරීමේ බලය හිමිව තිබේ.

1. මහා පරිමාණ මූල්‍යමය අපරාධ, දූෂණ හා විශාල ප්‍රමාණයේ අනවසර ව්‍යාපෘති

2. මහා පරිමාණයේ මහජන මුදල් හා දේපළවලට එරෙහි අපරාධ

3. ජාතික ආරක්ෂාව, රාජ්‍ය මූල්‍ය, සෞඛ්‍ය හා පරිසරයට එරෙහිව සිදුකර ඇති විශාල ප්‍රමාණයේ මූල්‍ය අපරාධ

4. නීති විරෝධ ආකාරයෙන් ධනවත් වීම හා නිල බලය සීමාව ඉක්මවා භාවිත කිරීම.

5. මුදල් විශුද්ධිකරණය ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම හා නීති විරෝධි ගනුදෙනු පිළිබඳ විමර්ශනය කිරීම.

සැබැවින්ම මෙසේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නමින් වෙනම පොලිස් කොට්ඨාසයක් පිහිටුවීම වැදගත් වූ පියවරක් ම විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින විමර්ශන සම්භාරය නිසාවෙන් ඉහත සඳහන් කළ ක්ෂේත්‍ර ආවරණය කිරීමට, ඒ සම්බන්ධ විශේෂඥභාවයක් සහිත වෙනම පොලිස් කොට්ඨාසයක් බිහි කිරීම අතිශය තාර්කික කාරණයක් විය. අනෙක් අතට විශේෂිත කාරණා සම්බන්ධයෙන් ක්‍රියාත්මක මෙවැනි කොට්ඨාස පොලිස් දෙපාර්තමේන්තුව තුළ අනන්තවත් දැකගත හැකි වීම තුළ මෙවැන්නක් ස්ථාපනය කිරීම පුදුම වීමට තරම් හෝ ප්‍රශ්න කළ යුතු මට්ටමේ කාරණාවක් ද නොවේ.

ප්‍රශ්නයක් වූ එෆ්සීඅයිඩිය

2015 පෙබරවාරි 26 වැනිදා මෙය ස්ථාපිත කළ පසු, එය අහෝසි කළ යුතු බව කියමින් ඉල්ලීම් ඉදිරිපත් වූයේ වරක දී දෙකකදී නොවේ. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ගෝඨාභය රාජපක්ෂ, වැන්නෝ මෙහි නීත්‍යනුකූල භාවය ප්‍රශ්න කරමින් අධිකරණය හමුවට පවා ගියහ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද, මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් එෆ්සීඅයිඩීයේ නිත්‍යනුකූල භාවය ප්‍රශ්න කළ මුත්, ඔහු ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටියේය. එසේ පෙනී සිටීම වක්‍රාකාරයෙන් මෙහි සුජාත භාවය පිළිගැනීමකි. කැබිනට් අනුමැතිය සහිතව පිහිටුවූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැනි ආයතනයක අවශ්‍යතාව සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී ජනතා අනුමැතිය ද හිමි විණි.

2015 ජනවාරි අට වැනි දා නිහඬ විප්ලවයක් සිදු කිරීමේදී ඉරහඳ තාරකා වෙනුවට හැටදෙලක්ෂයකට වඩා වැඩි ජනතාවක් එක හඬින් ඉල්ලා සිටියේ මේ රටේ ජාතික ධනය සූරා කෑ දූෂිතයන්ට වංචනිකයන්ට දඬුවම් පමුණුවන ලෙසය.

එබැවින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැනි ආයතනයක් බිහිකිරීම යනු එම ජනතා කැමැත්තට සිදුකරන සාධාරණයකි. නිරතුරුවම දේශපාලන විවේචනයන් එල්ල වනමුත්, පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක එම කොට්ඨාසයට වෙන කිසිවෙකුට හෝ මැදිහත්වීමට නොහැකි වීම තුළ මෙහි ස්වාධීනතාව සෑහෙන දුරට ආරක්ෂා වී තිබේ.

රාජපක්ෂවරුන් සමඟ දේශපාලනයේ නිරත දේශපාලනඥයන් පමණක් නොව වත්මන් රජයේ වගකීම් උසුලන දේශපාලනඥයන් පිළිබඳව ද ඔවුන් තම විමර්ශනයන් සිදුකිරීම මෙහි අපක්ෂපාතිත්වය පෙන්වන කැඩපතක් බඳුය. අත්අඩංගුවට ගැනීමක් සිදු වූ වහාම, එෆ්සීඅයිඩීයට එරෙහිව අවි එසවීම, මේ වන විට විලාසිතාවක් වී තිබේ. සිදුවීම් පෙළගැසෙමින් ඇති ආකාරයට එෆ්සීඅයිඩීයට පමණක් නොව අනාගතයේදී අල්ලස් කොමිසම ද වසා දැමිය යුතු බවට ඝෝෂාවක් මතු වුවහොත් එය පුදුම වීමට තරම් දෙයක් නොවේ. එබැවින් මේ විරෝධය පිටුපස ඇති "දේශපාලනය" හැඟීම්බර නොවී බුද්ධිමත්ව කියවීම වැදගත්ය. පැමිණිලි 200කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක එෆ්සීඅයිඩීය මේ වන විට ඉන් 35ක් පිළිබඳ මූලික විමර්ශන සම්පූර්ණයෙන් අවසන් කර ඇති බව කියවෙයි. පැහැදිලිවම දූෂණයට වංචාවට එරෙහිව කටයුතු කරන මෙබඳු ආයතන තව තවත් ශක්තිමත් කිරීම විශාල සමාජ අවශ්‍යතාවක්ව පවතී.

කැබිනට් රැස්වීම

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම බදාදා පෙරවරුවේ පැවැත්විණි. අමාත්‍ය මණ්ඩල සංදේශ පිළිබඳ කාරණාවලටත් වඩා මෙවර එහි වැඩි අවධානයක් යොමු වූයේ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හා එෆ් සී අයි ඩී ය සම්බන්ධ කාරණා කෙරෙහිය. එසේම වැදගත් කැබිනට් සිද්ධාන්තයක් වන සාමූහික වගකීම රැකගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව ද එහිදී කථාබහට ලක්විය. යෝෂිතව අත්අඩංගුවට ගැනීමේ නෛතික පදනම පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ නීතිපති උපදෙස් අනුව, නිත්‍යනුකූලව එය සිදු වූ බවය. මේ අතර පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ක්‍රියාකාරිත්වය විවේචනය කරමින්, තමන් සිදුකළ අදහස් දැක්වීම සාධාරණීකරණය කරමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පැවසුවේ මෙබඳු කථාවකි. "මම එෆ්සිඅයිඩිය ගැන කිව්වේ යෝෂිතලා ගැන හිතලා නෙවෙයි. පක්ෂයේ තීන්දුවක් මත ඉඳගෙනයි." මෙහිදි අමාත්‍ය දුමින්ද දිසානායකට තිබූ ගැටලුව වූයේ, යෝෂිතව අත්අඩංගුවට ගැනීම කල්තියා නොදැන සිටීමය. "අත්අඩංගුවට ගත්ත එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් අපිවත් මේ ගැන දැනුවත් කරන්න තිබුණා." දුමින්ද එසේ කියද්දි පොලිසිය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසුවේ අදාළ සියලු තොරතුරු තහවුරු කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුවූ බවය. "ඒත් සමාගම් ලියාපදිංචියේ යෝෂිතගේ නම නැහැ නේද" එවිට ඇමැති එස්.බී. අතුරු ප්‍රශ්නයක් යොමු කරද්දි, සාගල ඊට පිළිතුරු දුන්නේ විද්යුත් තැපෑල හරහා හුවමාරු වූ පණිවුඩ සිය ගණනක් එය ඔප්පු කිරීමට සාක්ෂි ඕනෑවටත් වඩා ඇති බවය. අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ක්‍රියාකලාපය දැඩිව ‍විවේචනය කළේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා ය.

"ඇඹිලිපිටියේ සිද්ධිය ගැන එයා තමන්ට හිතෙන හිතෙන විදිහට ප්‍රකාශ නිකුත් කරනවා. නීතිඥයකු වුණත් සමහර දේවල් ගැන එයාට ඒ හැටි අව‍බෝධයක් නැති ගානයි." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පිළිබඳ සුසිල් පවසද්දි කැබිනට් ප්‍රකාශකවරුන් ද රජය අපහසුතාවට පත්වන ප්‍රකාශ පසුගිය කාලයේ කිහිපවරක් ම කර ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. කැබිනට් ප්‍රකාශකවරුන් දෙදෙනා අතරින් එදින කැබිනට් මණ්ඩලයට සහභාගී වී සිටියේ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා පමණි. ඉන්දියාවේ කැලිකට් හි පැවති ආයුර්වේද සමුළුවකට සහභාගිවීම සඳහා රටින් බැහැර වී සිටි බැවින් රාජිත සේනාරත්න අමාත්‍යවරයා එදින කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ නැත. අග්‍රාමාත්‍යවරයා ගේ ප්‍රකාශයෙන් පසු ඇමැතිවරු ගණනාවක් ගයන්ත දෙස බැලූමුත් ඔහුගේ ශරීර භාෂාවෙන් පෙනෙන්නට වූයේ දැඩි සැහැල්ලු ගතියකි. "ඒ කිව්වේ මම ගැන නෙවෙයි" වගේ අදහසක් ඒ තුළ විය.

අග්‍රාමාත්‍යවරයාගේ කථාව අනුමත කරමින් පසුව එජාපය හා ශ්‍රීලනිපය නියෝජනය කරන මැති ඇමැතිවරු රැසක් ඒ පිළිබඳ නිදහස් අදහස් දක්වන්නට වූහ. කලකට පසු ඇවන්ගාඩ් පිළිබඳ මතකය අමාත්‍ය මණ්ඩලයට රැගෙන ආවේ, ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයා ය. "නීතිඥයන් නොවන අයත් ඇවන්ගාඩ් ගැන කථාකළා. යමක් කථාකළ යුත්තේ ඒ ගැන දැනගෙනයි." ජෝන්ගේ ඒ කථාව, ඇමති චම්පික රණවකට ඇල්ලුවේ නැත. "ඇවන්ගාඩ් ගැන කථා කරන්න නීතිඥයකු වීම අවශ්‍ය නැහැ. තොරතුරු තියෙනවා නම් ඒ ගැන කථා කරන්න පුළුවන්." ඔහු පැවසීය. පසුගිය දිනවල මාධ්‍යයන් හි කියවුණු මහින්ද අමරවීර අමාත්‍යවරයා හා දිලිප් වෙදආරච්චි රාජ්‍ය ඇමැතිවරයා අතර විරසකය පිළිබඳ අදහස් දක්වමින් මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කළේ "ඇමැති රාජ්‍ය ඇමැතිට හිරිහැර කරනවා" කියාය. "අපි දෙන්නා එක ආසනේ. මේකෙන් අපේ යාළුකමුත් නැතිවුණා. මට වෙන හොඳ ඇමතිකමක් දෙන්න" මහින්ද අමරවීර, එසේ ඉල්ලද්දි ජනාධිපතිවරයා යෝජනා කළේ ඒ පිළිබඳ පසුව සාකච්ඡා කිරීම වඩාත් සුදුසු බවය.

කපුවා කපෝති

බන්ධනාගාරයේ "ජේ" වාට්ටුවේ රඳවා සිටින යෝෂිත රාජපක්ෂ ගේ සුවදුක් විමසීම සඳහා අරුන්දික ප්‍රනාන්දු, සුමේධා ජි ජයසේන, අනුරාධ ජයරත්න, නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු පිරිසක් අඟහරුවාදා එහි ගිය අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ඒ මොහොතේ තම පුත්‍රයාව බැලීමට බන්ධනාගාරයට පැමිණ සිටියේය. ඒ තත්ත්වය තුළ දෙපාර්ශ්වය අතර හමුවක් අනිවාර්ය වූ අතර, යෝෂිතට සිදුවූ දෑ විවේචනය කරමින් නියෝජ්‍ය ඇමැතිවරු පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ක්‍රියාකාරිත්වය හිටපු ජනාධිපතිවරයා සමඟ දැඩිව විවේචනය කරන්නට විය. එම නියෝජ්‍ය ඇමැතිවරු කණ්ඩායම බ්‍රහස්පතින්දා රාත්‍රී හතට පමණ නාරාහේන්පිට පිහිටි අනුරාධ ජයරත්නගේ නිවසේදී යළි රැස්වූහ. "අපි, ආණ්ඩුවට එකතු වූයේ පක්ෂ මධ්‍යම කාරක සභාව ගත්ත තීරණය අනුවයි. ඒත් ඇමැතිවරු අපිට වැඩ කරන්න දෙන්නේ නැහැ. අඩුගානේ පාරක්වත් හදන්න අපිට ඉඩ දෙන්නේ නැහැ." කථාබහ අරඹමින්, අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. "සජිත්, නිවාස ආධාර බෙදාගෙන යනවා. ඒත් අපිට ලැබෙන්නේ නැහැ" මුතුහෙට්ටිගම එසේ කියද්දි අනුරාධ ජයරත්න සඳහන් කළේ මේ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීම වඩාත් සුදුසු බවය. "අපි ‍කොහොම හරි ජනාධිපතිතුමාව හා හිටපු ජනාධිපතිතුමාව එකට එකතු කරමු. එහෙ නැතුව පක්ෂයේ අර්බුද දිගටම ගියොත් ඒක අපිටත් ප්‍රශ්නයක්" අනුරාධ කියද්දි ඒ සියළු කටයුතු සම්බන්ධීකරණය කිරීමේ වගකීම ඔහුට ම පැවරීමට සියළුදෙනා තීරණය කරන ලදි. "ඔය කපුකම් කරන්න ගිය කපුවෝ ගොඩ දෙනෙක් කපෝති වුණා. එහෙම නොවී ඔයා වැඩේ ගොඩදාගන්න බලන්න." මුතුහෙට්ටිගම යෝජනා කරද්දි නිමල් ලාන්සා පැවසුවේ "මෙතුමාට එහෙම වෙන එකක් නැහැ" කියාය. මේ අතර මෙම නියෝජ්‍ය ඇමැතිවරුන් කණ්ඩායම හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබිණි.

අලුත් පක්ෂය ස්ථිරයි

තම පුත්‍රයා ඇතුළු හිතමිතුරන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම තුළ නිදහස අහිමි වී ඇති බව කියමින් 68 වැනි නිදහස් සැමරුම් උලෙළ වර්ජනය කළ හිටපු ජනාධිපතිවරයා එදින කොච්චිකඩේ රැනොවේල් හෝටලයේ සංවිධානය කර තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ සංසදයේ රැස්වීමකට සම්බන්ධ විය. උතුරෙන් හැර ර‍ෙට් අන් සෑම පළාතකින් ම ඒ සඳහා පළාත් සභා මන්ත්‍රිවරු පැමිණ සිටි අතර දෙසීයකට වැඩි පළාත් සභා මන්ත්‍රිවරු පිරිසක් ඊට එක්ව සිටියහ. රැස්වීම සංවිධානය කර තිබ‍ුණේ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ය. හැකිනම් ශ්‍රීලනිප සභාපතිකම ලබාගන්නා ලෙසත් එසේ නොහැකිනම් අනිවාර්යයෙන් ම පක්ෂයක් පිහිටුවන ලෙසත් ඉල්ලීම් රාජක්ෂ මහතාට සභාවෙන් යොමුවිය. "මම කවදාවත් ඔබලව අත්හරින්නේ නැහැ. මම හරි වෙලාවට හරි දේ කරනවා." රාජපක්ෂ මහතා ඊට ප්‍රතිචාර ලෙස පැවසීය. පෙ.ව. 11.30 ට ඇරඹි මෙම රැස්වීම පැය තුනකට ආසන්න කාලයක් පැවතුණි. පිටතට ප්‍රකාශයට පත් නොකළ ද මේ වනවිටත් ඉදිරියේදි හිටපු ජනාධිපතිවරයාට "දේශපාලනය" කිරීම සඳහා නව පක්ෂයක් ලියාපදිංචි කර ඇත. අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ නම් එම පක්ෂයේ මහා ලේකම්වරයා වනුයේ බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතකු වන නීතිඥ සාගර කාරියවසම් ය.

පාරේ වාඩි වූ සමන්ත

බත්මැඩිල්ල, කන්දකැටිය ගොවි ව්‍යාපාරවල අක්කර 5000 ක් පමණ කුඹුරු වගා කරන ගොවි ජනතාවගේ බන්ඩි ගොයමට අවශ්‍ය පොහොර ලබාදීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නැති අතර එම පොහොර හිමිකම ජනතාව වෙත ලබාගැනීමට පසුගිය තුන්වෙනිදා පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මැදිහත්වීමකින් කළ ගොවි අරගලයකින් හැකියාව හිමිවිණි.

සමන්ත විද්‍යාරත්න, හිටපු පළාත් සභා මන්ත්‍රී සුදත් බලගල්ල ගොවි ජනතාව සමඟ එක්ව බත්මැඩිල්ල, කන්දකැටිය ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට කන්දකැටිය බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූයේ පොහොර ලබාදෙන තුරු උද්ඝෝෂණය නවත්වන්නේ නැති බව කියමිනි. එම පිරිස මාර්ගය අවහිර කරමින් වාඩි වූයේ අනතුරුවය. පැය එකහමාරක් පමණ යන විට පොහොර ලබාදීමට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයෙන් පසු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් විය. හතරවෙනි බ්‍රහස්පතින්දා රජයේ නිවාඩු දිනයක් වුවද අදාළ කාර්යාලීය කටයුතු සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථනය විවෘත කර තැබීමට නිලධාරීන් එකඟ විය.

පොත් බෙදන කරු

දකුණු ආසියානු රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ පසුගිය සතියේ කොළඹට රැස්වූහ. කලාපීය දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා දායකත්වය ඇතුළු කරුණු රැසක් පිළිබඳව අවධානය යොමු කෙරුණු මෙම සමුළුව සඳහා සත්කාරත්වය ලැබුණේ කැනේඩියානු රජයෙනි. සමුළුවට සහභාගි වූ නියෝජිතවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙත ඇරියුම් කළ කථානායකවරයා පැවසුවේ අප රට තුළ දේශපාලනය හැරුණු ‍කොට අන් සෑම ක්ෂේත්‍රයකම කාන්තා නියෝජනය අද්විතීය ස්ථානයක පවතින බවයි. දේශපාලනය සඳහා ඇති වී තිබෙන හිඩැස පිරවීම පළාත් පාලන ආයතන තුළින් ආරම්භ කළ හැකි වනු ඇති බව එහිදි කථානායකවරයා විශ්වාසය පළ කළේය.

මේ අතර, කොළඹදී පැවති තවත් වැදගත් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවක් නිසා කථානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු නිලධාරීහු ගෙවුණු සතියේ කාර්ය බහුල වූහ. ඒ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාව පිළිබඳ ආසියානු කලාපීය පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමුළුව කොළඹදී පැවති නිසාය. ඊට එක්වූ විදෙස් නියෝජිතයන්ගේ සුව පහසුකම් පුද්ගලිකවම සොයා බැලූ කථානායකවරයා ඔවුන් සිය නිල නිවසට කැඳවා රාත්‍රි භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.

එම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. තෙදිනක් පුරා පැවති සැසිය අවසනදී සමුළු නියෝජිතයෝ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාව සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය පිළිබඳව 'කෝට්ටේ සම්මුතිය" නමින් නම් කෙරුණු ප්‍රකාශයකට ද අත්සන් තැබූහ.

තමන් විසින් සම්පාදිත විවිධ කෘතීන් පාර්ලිමේන්තුව වෙත ගෙනැවිත් කථානායකවරයා වෙත පිළිගැන්වීමට බොහෝ කතුවරු මේ දිනවල උනන්දු වෙති. එවැනි අපූර්වතම ග්‍රන්ථයක් පසුගිය සතියේ කථානායකවරයා වෙත පිළිගන්වනු ලැබීය. රුබේරු තන්තිරිගේ මහතා විසින් පරිවර්තනය කළ විශ්ව කීර්තිධර න්‍යෂ්ටික විද්‍යාඥයෙකු වූ දිවංගත ඉන්දීය ජනපති අබ්දුල් කලාම්ගේ ජීවන චරිතාපදිනය එම කෘතිය විය. 'ජනාධිපති ධුරයෙන් ඉවත් වෙලා කලාම් ජනාධිපතිතුමා ආපහු විශ්ව විද්‍යාලයේ උගන්වන්න ගියේ පාරෙ බස් එකේ.' පොත පිළිගන්වමින් රුබේරු මහතා කථානායකවරයාට කීවේය. කථානායකවරයා කීවේ 'මේක යහපාලනයට අත් පොතක් වේවි. අපේ 225 දෙනාටම මේක‍ බෙදමු. ඇත්තටම ඉතින් 225 ම මේ වගේ වුණොත් රටේ වාසනාවක්' යනුවෙනි. කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව මෙම ග්‍රන්ථය මුද්‍රණය සඳහා ආධාර කර තිබූ ජාතික ජලසම්පාදන සහ ජලාපවහන පොදු සේවක සංගමයට ද කථානායකවරයා තම ප්‍රශංසාව පළකළේය.

චාමර ලක්ෂාන් කුමාර

Share on Google Plus