යෝෂිතට මොනවා වෙයිද?


සී.එස්.එන්. නාළිකාව ආරම්භ කිරීමට මුදල් උපයාගත් ආකාරය තහවුරු කරගත නොහැකිවීමෙන්, මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදුකරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනකු ලබන 11 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා පෙරේදා (30දා) නියෝග කෙළේය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්‍ෂ, සී.එස්.එන්. නාළිකාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය වූ නිශාන්ත රණතුංග (ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ), වැලිවිට විතානගේ ‍ෙදාන් සුනිලාල් රොහාන් වැලිවිට (හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්), සචිත්‍ර කවිශාන් දිසානායක, අශාන් රබිනාත් ප්‍රනාන්දු යන මහත්වරුන් මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

රිමාන්ඩ් භාරයට පත් කෙරුණු යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුළු සැකකරුවන්ගේ දෑත්වලට විලංගු දමා ඔවුන් බන්ධනාගාරය වෙත පෙරේදා (30දා) පස්වරුවේ රැගෙන ගියේ පොලිස් විශේෂ කාර්ය බළකාය ප්‍රමුඛ විශේෂ බන්ධනාගාර සහ පොලිස් ආරක්‍ෂාවක් යටතේය.
බත්තරමුල්ල, කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටා තිබූ කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් පුද්ගලික සමාගම (ඛ්ඉව්) ආරම්භ කිරීමට මුදල් උපයාගත් ආකාරය තහවුරු කරගත නොහැකිවීමෙන් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකර ඇති වරද සම්බන්ධයෙන් සහ එම සමාගම ශ්‍රී ලංකා රේගුවට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරමින් භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන බවට 2015 අප්‍රේල් මාසයේදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණි.

සී.එස්.එන්. සමාගම විසින් මෙරට මූල්‍ය ආයතනයකින් ණය මුදලක් ලබාගෙන ඇති බවත්, එය ලබාගැනීමට විදේශීය සමාගමක ස්ථාවර තැන්පතුවක් ඇපකරයකට තබා ඇති බවත් දන්වා සිටි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, අදාළ සී.එස්.එන්. සමාගම විසින් එය ගෙවීම පැහැරහැර ඇති බවත්, එම මුදල් ගෙවා ඇත්තේ විදේශීය සමාගමකින් බවත් අධිකරණයට දන්වා සිටියේය.

ඒ සම්බන්ධයෙන් අදාළ විදේශීය සමාගමෙන් කරනු ලැබූ කරුණු විමසීමේදී ඔවුන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සමඟ සිදුවූ මූල්‍ය ගනුදෙනුවකදී මෙරටට ලැබිය යුතු කොමිස් මුදලක් වෙනුවෙන් එම මුදල ගෙවා ඇති බව යැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සී.එස්.එන්. ආයතනය, එංගලන්ත සමාගමක් විසින් ගෙන්වන ලද ඕබී ට්‍රැක් (ර්ණීඕ ඊපචජඬ) විකාශන යන්ත්‍ර මෙරටට ගෙන්වීමේදී ඒවා නිෂ්කාශනය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවට ලබාදී ඇති ඉන්වොයිස් සම්බන්ධයෙන්ද ගැටලුවක් පවතින බවත් ඒවා නිෂ්කාශනය කිරීම සඳහා වැයවූ රුපියල් මිලියන 90ක මුදලක් අදාළ සමාගමේ ගිණුමෙන් ගෙවා නොමැති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත දන්වා සිටියේය.

ඊට අමතරව එම මුදල් දූෂිත ගනුදෙනුවකින් සොයාගත් මුදල් දැයි යන්න සෙවීමට පරීක්‍ෂණ පවත්වන බව දන්වා සිටි පොලිසිය, එමෙන්ම භාණ්ඩ නිෂ්කාශනයේදී ශ්‍රී ලංකා රේගුවට ව්‍යාජ ලේඛන ලබාදීම සම්බන්ධයෙන්ද පරීක්‍ෂණ පවත්වන බව දන්වා සිටියේය.

යම් සමාගමක් විසින් වරදක් සිදු කර ඇති අවස්ථාවක, එම ආයතනයේ මුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයම ඊට වගකිවයුතු බවත්, මේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්‍ෂ ඇතුළු සැකකරුවන් සී.එස්.එන්. ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලය වශයෙන් ආරම්භයේ සිටම ක්‍රියා කිරීම පිළිබඳ අවශ්‍ය ප්‍රමාණය අභිභවා තොරතුරු අනාවරණය වී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.

මේ සිද්ධියට අදාළ නිශාන්ත රණතුංග සහ රොහාන් වැලිවිට යන සැකකරුවන් අදාළ ආයතනය මෙහෙයවීම සිදුකර ඇති බවත්, අදාළ ආයතනයේ ආරම්භක ප්‍රාග්ධනය උපයාගත් ආකාරය සම්බන්ධයෙන් තහවුරු කර ගත නොහැකි බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අදාළ සැකකරුවන් පිරිස අධිකරණය වෙත ඉදිරිපත් කරමින් වැඩිදුරටත් දන්වා සිටියේය.

යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුළු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් මේ පරීක්‍ෂණ ආරම්භ කර දැනට මාස 09කට ආසන්න කාලයක් ගතවී ඇති බවත්, තම සේවාදායකයන් ඉදිරි විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට පොරොන්දු වන බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මේ සිද්ධියට අදාළ විමර්ශනයට යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුළු සැකකරුවන් මුල සිටම සහයෝගය නොදැක්වූ බව දන්වා සිටි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එම නිසා සැකකරුවන්ට ඇප ලබාදීමට විරුද්ධ වන බව දන්වා සිටියේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් කඩුවෙල මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා සැකකරුවන් සියලු දෙනා ලබන 11 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසත්, එදිනට පැවැත්වූ විමර්ශනයේ සවිස්තර වාර්තාවක් අධිරකණයට ඉදිරිපත් කරන ලෙසත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කෙළේය.

පෙරේදා (30දා) උදේ 9.30ට පමණ රොහාන් වැලිවිට මහතාගේත්, නිශාන්ත රණතුංග මහතා ඇතුළු අනෙකුත් සැකකරුවන් දෙදෙනාගේත්නිවෙස්වලට ගොස් ඇති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ගේ ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවාගෙන විත් පැය අටකට ආසන්න කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගන්නා ලදී.

මේ අතර හිටපු ජනාධිපති පුත් යෝෂිත කණිෂ්ක රාජපක්‍ෂ මහතා එදින උදේ 9.30ට පමණ කොළඹ නාවික හමුදා මූලස්ථානයට කැඳවා තිබුණු අතර ඉන්පසුව එහි ගිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් එහිදී පැය හතක් පමණ ඔහුගෙන් ප්‍රශ්න කොට අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි කපිතාන් අක්‍රම් අලවි මහතා පැවැසීය.

යෝෂිත රාජපක්‍ෂ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා මෙදින සවස 5.30ට පමණ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ගෙනයන අවස්ථාවේ අධිකරණය අවට දැඩි පොලිස් රැකවරණ යොදා තිබුණු අතර ඊට සහාය වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමක්ද කැඳවා තිබිණි.

මේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු දේශපාලනඥයන් කීපදෙනකුද මහජනයාද අධිකරණ භූමියට පැමිණ සිටියහ.

එම අවස්ථාවේ වැලිකඩ බන්ධනාගාරය ආසන්නයේද විශාල පිරිසක් රැඳී සිටි අතර සැකකරුවන් රැගත් රථය බන්ධනාගාරය වෙත ළඟා වෙද්දී ඒ අවටද පොලිස් සහ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි රැකවරණය යොදා තිබිණි.

Share on Google Plus