යසාරා අබේනායකත් අත්අඩංගුවට.


නීති විරෝධී ගනු දෙණු සිදුවූ බව පැවසෙන CSN නාලිකාවේ ඉහළ  තනතුරක් හෙබවූ යසාරා අබේනායක අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග පවසයි.  මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය එම කටයුතු පිළිබඳ තව දුරටත් සොයා බලන බව පැවසෙයි. 

කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් හෙවත් CSN ආයතනයේ ආරම්භක ප්‍රාග්ධනය ලෙස  නීත්‍යානුකූල නොවන මාර්ගවලින් උපයාගත් ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක් විදේශීය රටක සිට එවා ඇති බව තහවුරු වී ඇතැයි රජය පවසනවා.

සිද්ධියට අදාළ විමර්ශනයේදී මේ බව තහවුරුවූ බව නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

මෙම ගණුදෙණුවට පාදක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන විදේශීය සමාගමක ආයෝජනයක් මත සිදුකෙරෙන ව්‍යාපෘතියක් බවයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම එම මුදල් CSN ආයතනයට ලැබුණු බව කියන ආකාරය සත්‍ය නොවන බව ද එම  දැක්වෙනවා.

මෙහි ආරම්භක ප්‍රාග්ධනය ලෙස යෙදවූ මුදල් විශුද්ධිකරණය තුළින් ලබා ගත් මුදල් බවට නිගමනය කිරීම සඳහා නෛතික සහ සිද්ධිමය පදනමක් පවතින බවයි සාගල රත්නායක අමාත්‍යවරයා දක්වෙන්නේ.

මෙම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස නිශාන්ත රණතුංග කටයුතු කර ඇති අතර ගණුදෙණුවලට අදාළ විද්‍යුත් තැපැල් පණිවුඩ අධ්‍යයනය කිරීමේදී අනාවරණ වී ඇත්තේ නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ - සමාගමේ සභාපතිවරයා ලෙස සහ තීරණ ගන්නා ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති බවයි.

මූල්‍ය විශුද්ධිකරණය කිරීමේ වරද සිදුකර ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන්ගේ නිර්දෝෂීභාවය අනාවරණ වී නොමැති බවත් අමාත්‍ය සාගල රත්නායක පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කූඨ ලේඛන පිළියෙල කිරීම, සාපරාධි විශ්වාසය කඩ කිරීම, සාපරාධි සාවද්‍ය පරිහරණය, රේගු පණතට ගැනෙන වැරදි සිදුකිරීම සහ සමාගම් පනත උල්ලංඝනය කිරීම ද සිදුකර ඇති බවයි නීතිය හා සාමය අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

යෝෂිත රාජපක්ෂ, රොහාන් වැලිවිට, කෞෂාන් දිසානායක, රවිනාත් ප්‍රනාන්දු සහ නිශාන්ත රණතුංග මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. යසාරා අබේනායක විදෙස්ගතව ඇත.

Share on Google Plus