ඊළඟට වැලිකඩට යන ප්‍රබලයා කවුද?


හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ජනප්‍රිය සිනමා නළු විජය කුමාරණතුංග වැනි ප්‍රභූ පිරිස් රඳවා තැබූ වැලිකඩ බන්ධනාගාරයේ 'එස්' වාට්ටුව හදිස්සියේම ප්‍රතිසංස්කරණය කරන්නට කටයුතු කරන්නේ පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයකු හෝ රජයේ හිටපු ඉහළ නිලධාරියෙක් රඳවා තබන්නටදැයි මේ වන විට දැඩි ආන්දෝලනයක් ඇතිව තිබේ.

පසුගිය රජය සමයේ සිදුවූවා යැයි කියන දූෂණ වංචා පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  (FCID) සහ බරපතළ මූල්‍ය වංචා පිළිබඳ ජනාධිපති කොමිසමද මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට  (FCID) වෙත ලැබී තිබුණු පැමිණිලි 38ක් පිළිබඳ විමර්ශන මේ වන විට අවසන් කර ඇති බවට වාර්තා වෙයි.

එසේම යහපාලන රජය ගොඩනැඟීමට දායක වූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ද දැඩි ලෙස ප්‍රකාශ කර තිබුණේ
දූෂණ, වංචා අක්‍රමිකතාවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ පරීක්ෂණ පවත්වා වැරැදිකරුවන්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බවය.

එමෙන්ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේදී පෙරේදා (12දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසා තිබුණේ මේ මාසයේදී දේශපාලනඥයන් 33 දෙනකුට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට යන බවයි.

Share on Google Plus