නළු නිළියන්ගේ පැටිකිරිය රන්ජන් හෙළි කරයි (VIDEO)


ලංකා පුත්‍ර බැංකුව මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හිතවතුන් හා දේශපාලන හෙංචයියලාට ලබා දී තිබෙන රුපියල් මිලියන 5000 කට අධික ණය මුදල්වලින් මිලියන 2000 කට අධික ප්‍රමාණයක්‌ ආපසු අයකර ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බව නි.අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.

රාමනායක මහතා එම අදහස්‌ පළ කර සිටියේ කෝට්‌ටේ මාදිවෙල ඒ මහතාගේ නිල නිවසේ පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ රාමනායක මහතා, 2006 වසරේ පිහිටුවන ලද ලංකා පුත්‍ර බැංකුව මගින් හිටපු ජනාධිපතිවරයා තම දේශපාලන හිතවතුන්ට මූල්‍යමය ආධාර ලබාදීමට කටයුතු කර ඇති බව මේ වන විට සිදුකරන පරීක්‍ෂණවලින් හෙළි වී තිබෙනවා.

මේ බැංකුව බංකොලොත් වෙමින් තිබියදී යහපාලනය යටතේ ගොඩගැනීමට කටයුතු යොදා තිබෙනවා.

බැංකුවෙන් ණය ලබාගත් පිරිස අතර ජනප්‍රිය රංගන ශිල්පීන්, පළාත් සභා මන්ත්‍රීවරියක්‌, නගර සභා මන්ත්‍රීවරයෙක්‌ ඇතුළු විවිධ ක්‍ෂේත්‍රවල පුද්ගලයන් රැසක්‌ සිටිනවා.

මේ අය අතර තිරිවාන ගල් කිලෝ 30 ක්‌ මැණික්‌ ලෙස ඇපයට තබා මුදල් ලබා ගත් අයත් සිටිනවා. කෑගල්ල ප්‍රදේශයේ නායයැමට ලක්‌වී තිබෙන ඉඩමක්‌ ව්‍යාජ තක්‌සේරුකරුවන් ලවා තක්‌සේරු කර මිලියන 60 ක පමණ මුදලක්‌ ලබාගත් රංගන ශිල්පියෙකුත් සිටිනවා. ත්‍රිකුණාමලයේ පළාත් සභා මන්ත්‍රීවරියට බෝට්‌ටු හදන්න කියල ගත්ත ණය මුදල මිලියන 70 ක්‌ පමණ වෙනවා. ඒත් හදපු බෝට්‌ටුවක්‌ නොමැති බවත් හෙළිවෙනවා.

ලංකා පුත්‍ර බැංකුව සතු බිලියන 8 ක පමණ මුදලින් බිලියන පහක්‌ හිතවතුන්ට ණය වශයෙන් බෙදාදීමෙන් පසු ඉන් බිලියන දෙකක මුදලකට ණයකරුවන් පොලු තියා ඇතැයි ද රාමනායක මහතා පැවසීය.



Share on Google Plus