තිලංගගෙන් මහේලට චෝදනා - මුදලට ලංකාවෙත් ඔට්ටුත් අල්ලයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත කණ්ඩාමේ පිතිකරණ උපදේශකයකු ලෙස කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඊයේ (26) ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.

ඔහු ප්‍රකාශ කරන්නේ ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලැබූ ක්‍රීඩකයකු විශ්‍රාම ගිය පසු අවම වශයෙන් වසරක කාලයක් වත් තම කණ්ඩායමට සිය අත්දැකීම් ලබා දිය යුතු බවත් වසර දෙකක කාලයක් යන තුරුවත් වෙනත් කණ්ඩායමක පුහුණුකරු ධූරයක් දැරීමට  ඉදිරිපත් නොවිය යුතු බවත්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර එහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තිලංග සුමතිපාල මහතා...

"යම් ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායම නියෝජනය කරලා ක්‍රීඩාවෙන් සමුගෙන මාස දෙකක කාලයක් ඇතුළත දි වෙනත් රටක් හා එකතු වෙනවා කියන්නෙ ඒක ඔහු ක්‍රීඩා කළ රටට හොඳ දෙයක් නෙමෙයි. අනිත් කාරණේ ලෝක කුසලානයක් ළඟ තියෙද්දි. අපි ඉදිරියේ දී මේ පිළිබඳ යම්කිසි පාලනයක් දැමිය යුතුයි. යම් ක්‍රීඩකයෙක් රට වෙනුවෙන් ක්‍රීඩා කරල විශ්‍රාම ගියාට පසු අවම තරමේ වසර දෙකක්වත් වෙනත් රටකට පුහුණුකරු ධුරයක් හෝ උපදෙස් සපයන්නෙකු ලෙසින් ඉදිරිපත් නොවිය යුතුයි.

ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉඳල විශ්‍රාම ගන්නකොට ඔහු කණ්ඩායමේ දුර්වල හා ප්‍රභල ස්ථාන මොනව ද කියන කාරණය දන්නවා. එම ක්‍රීඩකයාම සුළු කාලයකින් වෙනත් කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙසින් එක් වෙද්දි කණ්ඩායමේ රහස්‍ය ලෙස රැකගත යුතු තරග සැලසුම්වලට මොකද වෙන්නේ. මේක සදාචාරමත් දෙයක් නෙමෙයි. 

මම හිතන්නෙ මේක ක්‍රීඩාවෙ ආචාරධර්ම පිළිබඳ ප්‍රශ්නයක්. මේක ඔහුගේ (මහේල ජයවර්ධන) පෞද්ගලික වරදක් නෙමෙයි. ඔහුගේ දැනුම සම්භාරයට මම ගොඩක් ගරු කරනවා. නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් පාලනය කිරීමක් නැත්නම් ක්‍රීඩකයෙකු ක්‍රීඩාවට විනය ගරුක වෙන්නෙත් නෑ." යැයි පැවසීය.

කෙසේ නමුත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය චෝදනා කරන්නේ T20 ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සුදු ව්‍යාපාරයන් දෙකක් වන Sporting Times සහ Sporting Star යන ආයතන වල ක්‍රිකට් ඔට්ටු භාර ගන්න බවටයි.


Share on Google Plus