ශ්‍රීලනිපයේ විනය කැඩුවොත් ගෙදර.


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විනය කඩකරමින් පක්‍ෂ නායකත්වයත් පක්‍ෂයත් විවේචනය කරමින් කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලුම පාර්ලිමේන්තුල පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට විරුද්ධව තරාතිරම නොබලා දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්‍ෂය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

වැඩි දුරටත් කරුණු දැක්‌වූ මහ ලේකම්වරයා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විනය කඩකර ඇති බවට චෝදනා එල්ල වී ඇති සාමාජිකයන් රැසකටම විරුද්ධව පක්‍ෂය මේ වන විටත් විනය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කර තිබෙනවා. ඉදිරි දින කීපයේදී දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් පක්‍ෂයේ අවසරයකින් තොරව මාධ්‍ය හමු පවත්වමින් පක්‍ෂයට අභියෝග කළ සියලුම දෙනාට විරුද්ධව පියවරෙන් පියවර විනය ක්‍රියාමාර්ග ගන්නවා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විනය ආරක්‍ෂා කිරීම පක්‍ෂයේ සාමාජිකයන් ලෙස කටයුතු කරන සියලුම දෙනාගේ වගකීමක්‌. විනයක්‌ නැතුව පක්‍ෂයක්‌ ඉදිරියට ගෙනියන්න බැහැ.

පක්‍ෂයේ විනය සියලුම දෙනාට එකයි. තෝරු මෝරු හාල්මැස්‌සෝ කියලා වෙනසක්‌ නැහැ. එමනිසා පක්‍ෂය විසින් සිදුකරන පරීක්‍ෂණයකින් පසුව පක්‍ෂයේ විනය කඩකර ඇති බවට සාධාරණ සැකයෙන් තොරව තහවුරු වන සියලුම දෙනාම පක්‍ෂයෙන් නෙරපා හරින බවද මහලේකම්වරයා පැවසීය.

Share on Google Plus