ෆොන්සේකාට රණවිරු සුබසාධන කැබිනට් ඇමැති ධුරය.


එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතාට රණවිරු සුබසාධනයට අදාළ කැබිනට් ඇමැති ධූරයක් පිරිනැමෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 මේ 9 දා කතානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තුවේ හිමි වනුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාඩිවන ආසනයට ඉදිරියෙන් තිබෙන අසුන බවද දැනගන්නට තිබේ.

ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තුවේ ආසනයක් පැනවීමේ දී රජයේ හවුල්කාර පක්ෂයක නායකයකු ලෙස ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ අසුනක් හිමි වෙන අතර ෆොන්සේකා මහතා 2010 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වී ඇති හෙයින් එම ජ්‍යෙෂ්ඨත්වය ද සැලකිල්ලට ගැනෙන බවද වාර්තා වේ.

ඉඩම් ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ෆොන්සේකා මහතා පත් කිරීමට පෙර එක්සත් ජාතික පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීමට ද නියමිතය.

Share on Google Plus