මෛත්‍රීට දුන්නේ මහින්ද.


ජනපතිවරණ පරාජයෙන් පසු අපි හැමෝම මහින්ද රාජපක්ෂ මහතාට කිව්වා පක්ෂ සභාපතිකමේ ඉන්න කියලා. මාලනී ෆොන්සේකා හරි කවුරුහරි ඉල්ලා අස්වෙයි, පාර්ලිමේන්තුවට ඇවිත් පක්ෂය ඉදිරියට අරගෙන යන්න කියලා අපි කියත්දී එතුමා තමයි කිව්වේ ඒක මට එපා මෛත්‍රිට දෙන්න කියලා යැයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.

හිත් අමාරුකම් තිබුණත් මහින්ද රාජපක්ෂ මහතා කවදාවත් ශ්‍රීලනිපය දෙකඩ කැරන්න කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් තමන් උපන්නෙත් මියයන්නෙත් මෙම පක්ෂයේ බව එතුමා ප්‍රකාශ කර තිබෙන බවත් ඒ මහතා කීය. හතරලියද්ද ප්‍රදේශයේ දී පසුගියදා පැවති ජනහමුවකදී ඇමැතිවරයා මේ බව කීවේය. ඉදිරි දෙසතිය තුළ පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රීලනිපයෙන් කොට්ඨාසවලට ඉදිරිපත් කරන්නේ කවුද කියලා තෝරන්න ඉල්ලුම්පත් කැඳවනවා. මේ ඉල්ලුම්පත් දාන අයගේ කැරට්ටුව හොඳට හොයලා තමයි නාමයෝජනා දෙන්නේ. මේ අය පක්ෂ මතයට පක්ෂපාති ද, පක්ෂ නියෝග කඩකරලා තිබෙනව ද, බුරුතු පිටින් පක්ෂයට විරුද්ධව වැඩකරලා තිබෙනවද කියන මේ හැම කාරණයක් ගැනම නාම යෝජනා දෙනකොට සලකලා බලනවා. මේ කොහොම වුණත් නව ඡන්ද ක්‍රම‍ය යටතේ කොයි පක්ෂයේත් ගමේ පක්ෂ ශාඛා සමිතියට හොඳ බලයක් ලැබෙනවා. ඒ අය නිර්දේශ කරන අයට තමයි ඡන්දයට ඉදිරිපත් වෙන්න ඉල්ලුම්පත් යොමු කරන්න පුළුවන්. ඒ ඉදිරිපත් වන අයගෙන් වඩා සුදුස්සා ඊට පස්සේ ආසන සංවිධායක හා පක්ෂය විසින් පත්කරන තේරීම් මණ්ඩලයක් මගින් තෝරා ගන්නවා.

පාර්ලිමේන්තුවේ තිබූ බලය ජේ.ආර්, ප්‍රේමදාස, මහින්ද යන තුන්දෙනාම ටිකෙන් ටික එළියට ඇදලා තමන්ගේ අතට ගත්තා. විධායක ජනපති පුටුවේ වාඩිවෙන කාටත් ඔය වලිප්පුව හැදෙනවා. නමුත් මෛත්‍රිපාල සිරිසේන මහතාට එහෙම වුණේ නැහැ. එතුමා වැඩ පටන් ගත්තෙම බලතල කප්පාදු කරන බවට පොරොන්දු දීලයි. විධායක ජනපති ධුරයේ තටු කපා පාර්ලිමේන්තුවට බලය ලබාදෙන විට අනෙක් පැත්තෙන් ඡන්ද ක්‍රමය වෙනස්විය යුතුයි.

ජනපති බලතල කප්පාදු කළ පසු මහ මැතිවරණයකදී විශේෂ බලතල ඇතිව අගමැති ධුරයට පත්වන පුද්ගලයා නියෝජනය කරන පක්ෂයට පැහැදිලි බහුතරයක් හිමි නොවී ආසන පහ හයක වැඩි බහුතරයක් පමණක් හිමි වුණොත් අගමැතිතුමාට මේක නොකළොත් ඔයාව අයින් කරනවා කියලා සුළු ජාතික කොටස්වලට අවශ්‍ය නම් බලපෑම් කළ හැකියි. ජනපති ධුරයේ අත්‍යවශ්‍යය බලතල කප්පාදු කරන ගමන් රටේ ඒකීයභාවය ස්වෛරීභාවය තහවුරුකිරීමට හේතුවන බලතල වෙනස් නොකොට පවතින්න ඕන කියන එක තමයි අපේ ස්ථාවරය යැයි හෙතෙම පැවසීය. 

Share on Google Plus