රෝහිත අත්අඩංගුවට නොගැනීමට අල්ලස් හස්තයක්?


හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව පසුගියදා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇති නමුත් ඔහුට එල්ල වී ඇති චෝදනාවලට අනුව අල්ලස් පනතේ 30 වගන්තිය ප්‍රකාරව ඔහු අත්අඩංගුවට නොගත්තේ කුමන හේතුවක් නිසාද යන්න නීති ක්ෂේත්‍රයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

රුපියල් මිලියන 41.1ක් වන නීති විරෝධීව ඔහු ඉපැයූ වත්කම් හෙළිවීම නිසාත් 2004 – 2006 අතර කාලයේ ඉපැයූ මෙම වත්කම් පිළිබඳ හෙළි නොකිරීම නිසාත් ඔහුට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ජනවාරි 08 වනදා නඩු පවරා ඇත.

අල්ලස් පනතේ 23 (අ) යටතේ මෙලෙස නඩු පවරා ඇත.
එහෙත් එම පනතේ 30 යටතේ එවැනි වරදකරුවෙකු අත්අඩංගුවට ගැනීමට උසාවියෙන් ඉල්ලා සිටිය හැකි නමුත් ඔහු අත්අඩංගුවට නොගත්තේ කුමන හේතුවක් නිසාද යන්න ගැටළු සහගතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කළ අල්ලස් කොමිසමේ බාලපටබැඳි සභාපති ඇතුළු කොමසාරිස් වරුන් හොරුන් ආරක්ෂා කළ අතර නව අල්ලස් කොමිසම සාධාරණව නීතිය ක්‍රියාවට නගනු ඇතැයි ජනතාව අපේක්ෂා කළේය.

එහෙත් නව කොමිසමටද හිටපු කොමසාරිස්වරුන් අතුරින් එක් කොමසාරිස්වරයෙකු යළි පත්කර ඇති අතර ඔහුගේ බලපෑම මත කොමිසමේ විමර්ශන නිලධාරින් රෝහිත අබේගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකරන ලද්දේද යන්න සැකයට තුඩු දී තිබේ. 

මීට ඉහතද රෝහිත අබේගුණවර්ධන බේරා ගැනීම සඳහා මෙම කොමසාරිස්වරයා විමර්ශන නිලධාරීන්ට බාධා කරන ලද බවට වාර්තා වේ. 

Share on Google Plus