ඒකාබද්ධ විපක්ෂය කෝලාහල කරයි: ආණ්ඩුව පනත සම්මත කරයි.


ඒකාබද්ධ විපක්‍ෂය තම අයිතිවාසිකම් ඉල්ලා පාර්ලිමේන්තුවේ පළ කළ දැඩි විරෝධයත් සමඟ ඉතිහාසයේ අන් කවර දිනකදී හෝ සිදු නොවූ අයුරින් සභාගර්භයේ පැවැති හූ" හඬ සහ මන්ත්‍රිවරුන්ගේ ඝෝෂාවෙන් පාර්ලිමේන්තුව ඊයේ ගිගුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්‍ෂය පිළිගන්නා ලෙස කතානායකවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර දැනට මාස පහක් ගතවී ඇතත්, පිළිගැනීමක් සිදුනොකළ බව පවසමින් මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන දීර්ඝ ලෙස කරුණු දක්වා, රීති ප්‍රශ්නයක්ද ඉදිරිපත් කෙළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ ඊට පිළිතුරු දෙමින් එම ඉල්ලීම ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවත්, එම කණ්ඩායමට අවශ්‍ය කාලය ලබාදෙන බවත් සඳහන් කෙළේය.

විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන මන්ත්‍රිවරුද, ඒකාබද්ධ විපක්‍ෂය පිළිගන්නා ලෙස කරුණු දක්වමින් ඉල්ලීම් කළහ.

ඒකාබද්ධ විපක්‍ෂයට යම් අසාධාරණයක් සිදුවූ බවට තමා පිළිගන්නා බවත්, එම කණ්ඩායමට අවශ්‍ය කාලය ලබාදීමට කටයුතු කරන බවත් පැවැසූ කතානායකවරයා සන්ධානය විනාශ කිරීමේ පාප කර්මයට තමාට හවුල් විය නොහැකි යැයි අවධාරණය කෙළේය.

එසේ පවසමින් කතානායකවරයා සභාවේ කටයුතු ආරම්භ කෙළේය. ඒ සමඟම ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු සිය අසුන්වලින් නැඟී සිටිමින් තමන් පිළිබඳ තීරණයක් නොදී සභාවේ කටයුතු ආරම්භ නොකරන ලෙස ඉල්ලා සිටියහ.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල ප්‍රධාන කටයුතු ආරම්භ කරමින් පළාත් පාලන ඡන්ද විමසීම් (සංශෝධන) පනත ඉදිරිපත් කරනවාත් සමඟ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ සභා ගැබට පිවිස සෙංකෝලය තබා ඇති ස්ථානයට පැමිණියේය. ඒ සමඟම සෙසු මන්ත්‍රිවරුද සෙංකෝලය තබා ඇති ස්ථානයට එක්රොක් වූහ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරිවරු තිදෙනාම ඒ අවස්ථාවේ සෙංකෝලය අසලට පැමිණ සෙංකෝලය ආරක්‍ෂා කරගනිමින් රැඳී සිටියහ.
"අපේ අයිතිය අපට දියව්..." "අපේ අයිතිය අපට දියව්" කියමින් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු ඝෝෂා කරද්දී අගමැති රනිල් වික්‍රමසිංහ නැඟී සිට පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කරමින් කතා කෙළේය.

අගමැතිවරයා සිය කතාව ඝෝෂාව මැද්දේ කරගෙන ගොස් චන්ද්‍රානි බණ්ඩාර ඇමැතිවරියට කතා කරන ලෙස දන්වමින් අවසන් කෙළේය.
ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරු හා ඇමැතිවරු පිරිසක් අගමැතිවරයාගේ අසුන ඉදිරිපිට සිට සෙංකෝලය තබා ඇති ස්ථානය තෙක් පෙළගැසුණේ ඉන් අනතුරුවයි.

මෙසේ ඝෝෂාව සිදුවෙමින් පැවැති අවස්ථාවේ සරත් ෆොන්සේකා මන්ත්‍රිවරයා, සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ අසුනෙහි හිඳ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගේ විරෝධය දෙස බලා සිටියේය.

ඒකාබද්ධ විපක්‍ෂය ඝෝෂා කරමින් උද්ඝෝෂණය කරද්දී මලික් සමරවික්‍රම, හරීන් ප්‍රනාන්දු ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙක් සභාගැබ මැද්දට පැමිණ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු සමඟ සුහද කතාබහක යෙදුණහ.

නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න යන ඇමැතිවරුද සිය ආසනවල හිඳ ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාව දෙස බලා සිටියහ.

අගමැති රනිල් වික්‍රමසිංහ කතා කරද්දී එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරු පිරිසක් ඔහු වටකර ගෙන ආරක්‍ෂක වළල්ලක් ලෙස සිටියහ.
"සන්ධාන නායකයට එන්න කියාපිය, මේවට උත්තර දෙන්න කියාපිය" කියමින් ඒකාබද්ධ විපක්‍ෂයේ තවත් මන්ත්‍රිවරු පිරිසක් සටන් පාඨ කියද්දී, "කතානායකට එන්න කියාපිය, මේවට උත්තර දෙන්න කියාපිය" කියමින් ඒකාබද්ධ විපක්‍ෂයේ රංජිත් සොයිසා මන්ත්‍රිවරයා ප්‍රධාන පිරිසක් ඝෝෂා කළහ.

එම ඝෝෂාව යටපත් කරමින් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරු "පාස්පෝට් දියව්... දියව්..." "පාස්පෝට් දියව්... දියව්..." කියමින් ඝෝෂා කළහ.
ඊට පිළිතුරු වශයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු "ජනාධිපතිට එන්න කියාපිය.... මේවට උත්තර දෙන්න කියාපිය" කියමින් කෑගසන්නට වූහ.

"ආණ්ඩු පක්‍ෂයෙන්' බුද්ධදාසට එන්න කියාපිය මේවට උත්තර දෙන්න කියාපිය" කීහ.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා ප්‍රධාන පිරිසක් කතානායකවරයා දෙසට දෑත් දිගු කරමින් "කතානායකතුමා මන්ත්‍රිවරුන්ගේ අයිතිය නැති කරනවා. ඒක අසාධාරණයි. අපේ අයිතිවාසිකම් අපට ලබා දෙන්න" කියන විට තවත් කණ්ඩායමක් "කතානායකට එන්න කියාපිය... මේවට උත්තර දෙන්න කියාපිය... පල්ලම් බැහැලා යන්න කියාපිය" කියමින් කතානායකවරයා වෙත අභියෝග කළහ.

බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රි පිරිසක් "අපි ඉල්ලන්නේ විපක්‍ෂ නායකකම නෙවි... අපි කියන්නේ අපේ කණ්ඩායමට සැබෑ විපක්‍ෂයේ තැන ලබා දෙන්න..." කියමින් දිගින් දිගටම ඉල්ලා සිටියහ.

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගේ බාධා, කෑකෝ ගැසීම් මධ්‍යයේ පළාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කර ගැනීමට ආණ්ඩු පක්‍ෂය කටයුතු කෙළේය.

පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් පසු සභා ගැබ මැදට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රි පිරිස යළි පැමිණි අවස්ථාවේ වාසුදේව නානයක්කාර මහතා "හෙටත් මේ වේලාවට මෙතැනදී මේ වගේ රැස්වෙමුයි" අනතුරු ඇඟවීමක්ද කෙළේය.

Share on Google Plus