ඊළඟට නාමල්.


ඉදිරි දින කිහිපය තුළදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සිදු විය හැකි බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට ද චෝදනා එල්ල වී ඇත. එම ඝාතනයට මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියකු වන කපිතාන් තිස්ස විමලසේන ඍජුවම සම්බන්ධ බව ද මේ වන විට එම විමර්ශන කණ්ඩායම් විසින් අනාවරණය කරගෙන ඇත.

එමෙන්ම නාමල් රාජපක්ෂ මහතා ද මූල්‍ය විශුද්ධිකරණ පනත යටතට ගැනෙන බරපතළ වැරැදි රැසක් සිදු කර තිබෙන බව මේ වන විට සාක්ෂි සහිතව අනාවරණය කර ගෙන ඇත. ඒ අනුව ඔහුව ද අත්අඩංගුවට ගැනීම සිදු වනු ඇත. තිඹිරිගස්යායේ පොලිස් පාර්ක් හි ගවර් වීදියේ පවත්වාගෙන යන නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගම් 5 කට මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ දී බිලියන ගණනක මුදල් ප‍්‍රමාණයක් එම සමාගම්වල ආයෝජනය කර තිබෙන බව හෙළි වී ඇත. එහෙත් ඊට එම මුදල් ලැබුණු ආකාරය ගැන කළ විමර්ශනවල දී නාමල් රාජපක්ෂ මහතා විසින් නිමල් පෙරේරා, ඉෂාර නානායක්කාර, සජින් වාස් ගුණවර්ධන ආදී ව්‍යපාරිකයන්ගේ නම් සඳහන් කර තිබූ නමුත් එම ව්‍යාපාරිකයන් විසින් තමන් එම මුදල් ලබා නොදුන් බව පෙන්වා දී තිබේ. එය නාමල් රාජපක්ෂ මහතා විසින් ලබා දුන් අසත්‍ය තොරතුරක් බවත් මේ වන විට හෙළි වී ඇත.

එමෙන්ම ඇවන්ගාර්ඞ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් එම පොලිස් ආරංචි මාර්ග පවසයි. ඊට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දී තිබුණ ද ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට සාක්ෂි නැති බව පැවසිණි. ඒ කෙසේ වූවත් මේ වන විට බරපතළ අපරාධ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම මෙම ඇවන්ගාර්ඞ් සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කරමින් පවතී.

Share on Google Plus