තාජුඩීන් මරලා - කවුද මැරුවේ?


රටේ ආන්දෝලනයකට තුඩුදුන් රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට තීන්දු කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා, තාජුඩීන් ඉතා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමට සම්බන්ධ වූ සියලුම ඝාතකයන් දින 30ක් ඇතුළත වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියේ අධ්‍යක්‍ෂවරයාට ඊයේ (25දා) නියෝග කෙළේය.

2012 මැයි 17 වැනි දින සිදුවූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය පිළිබඳව වසර 04කට ආසන්න කාලයක් පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කෙළේය.

තාජුඩීන් මහතා ඝාතනය කිරීමට ඝාතකයන්ට ආධාර අනුබල දුන් බවට විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත හඳුනාගත් සැකකරුවන් සිටී නම් ඔවුන්ද තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රහස් පොලිසියට නියෝග කෙළේය.

මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරක් නිසා සිදුවිය හැකි මරණයක් නොවන බව තීන්දු කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, ඔහුගේ ශරීරයේ පපුව, බෙල්ල සහ පාදවලට එල්ල කළ පහරදීම් හේතුවෙන් සිදුවූ තුවාල නිසා මරණය සිදුවී ඇති බව ප්‍රකාශ කළේය.
ඒ අනුව තාජුඩීන්ගේ මරණය රිය අනතුරක් නොවන ඝාතනයක් බවට අතිරේක මහෙස්ත්‍රාත්වරයා තීන්දු කෙළේය.

හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා විසින් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි දෙවැනි වරට වෛද්‍ය සභාවක් විසින් පැවැත්වූ පශ්චාත් මරණය පරීක්‍ෂණ වාර්තාව රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව, ජින්ටෙක් ආයතනයෙන් ලබාගත් වාර්තාව, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය මඟින් ඉදිරිපත් කළ වාර්තාව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ වාර්තාව හා වරින් වර රහස් පොලිසියේ විමර්ශනවලට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා යන සියලුම වාර්තා සැළකිල්ලට ගෙන අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණයේ අවසන් තීන්දුව ඊයේ ලබා දුන්නේය.

එම විශේෂ වාර්තා අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්ති ප්‍රකාර වරදක් වන ඝාතනයක් සිදුව ඇති බවට තීරණය කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, ඒ අනුව මිනී මැරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා යටතේ අපරාධයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කෙළේය.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ පරීක්‍ෂණවලදී සොයා ගනු ලැබූ සැක සහිත සී.සී.ටී.වී. වීඩියෝ දර්ශන 05ක් පැහැදිලිව හඳුනා ගැනීම සඳහා එම වීඩියෝ දර්ශන ඇතුළත් සීඩී තැටි නොපමාව විදේශීය රටක පරීක්‍ෂණාගාරයකට යවා කඩිනමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියම කෙළේය.

තාජුඩීන්ගේ මෘත ශරීරයේ අස්ථි කොටස් අස්ථානගත වීමට අදාළව වෛද්‍ය සභාවේ විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරයා වෛද්‍ය සභාව වෙත නියෝගයක් කෙළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිපත් කරමින් මෙම අපරාධය සම්බන්ධයෙන් 2016 ජනවාරි 07 වැනිදා සිට මේ දක්වා පුද්ගලයන් 16 දෙනකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බවද අධිකරණය වෙත දන්වා සිටියේය.
විමර්ශනයේදී අනාවරණය වී ඇති සැකසහිත දුරකතන කිහිපයක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

මේ ඝාතනයට අදාළව සිදුකරන පරීක්‍ෂණවල ප්‍රගතිය ලබන මාර්තු 23 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රහස් පොලිසියට නියෝග කෙළේය.

Share on Google Plus