බැසිල් රත් වෙයි - මහින්ද පන්නයි.


රාජපක්ෂ ආණ්ඩුවේ සිටි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (16) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබේ.

පෙත්සම මගින් බැසිල් රාජපක්ෂ අධිකරණයට කරුණු දක්වා ඇත්තේ දැනට මහේස්ත්‍රාත් අධිකරණ හතරක දේපල සිදුවීම් සම්බන්ධ නඩු 5ක් සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබෙන බැවින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත්  එය වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

දිවිනැගුම මුදල් අයථා ලෙස ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. ඒ පිළිබඳව අධිකරණමය ක්‍රියාමාර්ග පැවැත්වෙමින් තිබෙන අතර එම අමාත්‍යංශයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වෙනත් පරීක්ෂණ පහක්ද සිදු කෙරෙමින් පවතී. තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන ලෙස නියෝගයක් ලබා දෙන්නැයි ඔහු ඉල්ලා සිටින්නේ මෙම පසුබිම තුළය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇවන්ගාඩ් අවි ජාවාරම් සම්බන්ධයෙන් සහ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් වළකාලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට මීට පෙර අවස්ථාවක එම නියෝගයක් ලබා දී තිබිණ.
CSN නාලිකාව සඳහා යොදවන ලද මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වූ නිසා මුදල් විශුද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමෙන් පසු පසුගිය රජයේ මූල්‍ය අවභාවිතාවන් පිළිබඳව චෝදනා එල්ල වී සිටින ප්‍රබලයින් දැඩි කලබලයකට පත්ව සිටිති. 

මේ අතර පක්‍ෂයෙන් යනවාද නැත්නම් ඉන්නවාද යන දෙකෙන් එකක්‌ පිළිබඳව අවසන් තීරණය ගැනීමට කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැන් පූර්ණ නිදහස ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය.

''කිසිම කෙනෙක්‌ බලෙන් තියාගන්න අපිට අවශ්‍ය නැහැ. දූෂණ චෝදනා එල්ල වී ඇති අයට ඕනෑම වෙලාවක පක්‍ෂයෙන් යන්න පුළුවන්. ඒ සඳහා පක්‍ෂයේ දොරටු ඇර තිබෙනවා.'' යයි පැවසු ශ්‍රීලනිප මහ ලේකම්වරයා, වැඩිදුරටත් මෙසේ ද කීය.

''දැන දැන පක්‍ෂ විනය සහ ව්‍යවස්‌ථාව කඩකිරීම සමාව දිය නොහැකි බරපතළ වරදක්‌. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ව්‍යවස්‌ථාව සහ පක්‍ෂයේ විනය නීති පිළිබඳව හිටපු සභාපති ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා හොඳින් දන්නවා. නමුත් එතුමා අද හැසිරෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට අලුතෙන් බැදුණු සාමාජිකයකු ලෙසයි. මේ නිසා බණ්‌ඩාරනායක අගමැතිතුමා ආරම්භ කරපු වසර ගණනාවක්‌ මේ රට පාලනය කරපු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට විශාල හානියක්‌ සිදුවෙලා.


පක්‍ෂය කඩන්න තැන් තැන්වල කුමන්ත්‍රණය කරන, රැස්‌වීම් තියන, මාධ්‍ය ඉදිරිපිට වීරයන් වගේ හැසිරෙන අයට විරුද්ධව පක්‍ෂයට ආදරය කරන ජනතාව දැන් නැගී සිටිනවා.'' යෑයි ද මහ ලේකම්වරයා පැවසීය.

Share on Google Plus