මහින්දලාට සමාවක් නැහැ.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරුන් පෙරට දමා ගනිමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර අලූත් පක්ෂයක් පිහිටුවන්නේයැ’යි පවසන්නේ තමන්ගේ පවුලට එරෙහිව කෙරෙන අපරාධ පරීක්ෂණ යටගසා ගැනීමට බවත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වුවත් තමන් එයට එකඟ නැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසුවේයැ’යි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ප‍්‍රකාශ කළේය.

රාජපක්ෂ පවුලට විරුද්ධව කෙරෙන පොලිස් පරීක්ෂණ සහ අධිකරණ ක‍්‍රියාන්විතයන් නවත්වන්නේ නම් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට වුවත් එකඟ බව ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් රැසක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කරුණු දැක්වීමේදී ඒ මහතා ඉහත අදහස ප‍්‍රකාශ කර ඇත.

එහිදී ජනාධිපතිවරයා තවදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ පසුගිය රාජපක්ෂ පාලනයේ වැරදිකරුවන් නීතිය හමුවට ගෙන එනවායැ’යි කියමින් බලයට පැමිණි තමන් එම ක‍්‍රියාවලියට අවහිර කරනවාට වඩා ජනාධිපති තනතුරෙන් ඉවත්වීම සුදුසු බවය.

ජනාධිපතිවරයාගේ මේ ස්ථාවරය අනුව යමින් පසුගිය 17 වැනි දින සවස කොළඹදී හමුවූ ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ද තීරණය කර ඇත්තේ පක්ෂය දෙකඩ වුවත් ජනාධිපතිවරයාගේ ස්ථාවරයට සහාය දෙන බවය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මේ ක‍්‍රියාවලිය නිසා අවසානයේ පළාත් පාලන නියෝජිත යන්ට යන එන මං නැතිවෙන බවය.

පසුගිය කාලයේ ග‍්‍රාමීයව සිදුවූ දූෂණ සහ වංචාවලට වැරදිකරු වන් යැයි චෝදනා ලබන බොහෝ දෙනකු මෙම පළාත් පාලන නියෝජිත ගොනුවේ ඉදිරියෙන්ම සිටින බව කියා සිටින ඒ මහතා ඔවුන් සියලූදෙනාටම ඉදිරියේදී අත්වෙන ඉරණම ඛේදනීය බවද ප‍්‍රකාශ කළේය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීමකට අනුව එළැඹෙන සතියේදී ජනාධිපතිවරයා ඔවුන්ට තමන් සමග සාකච්ඡුාවක් සඳහා අවස්ථාවක් ලබාදී ඇති බවද ඔහු තවදුරටත් ප‍්‍රකාශ කළේය.

(රාවය)

Share on Google Plus