මහින්ද පසුබසී.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර තමන්ගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට සූදානම් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මේ වනවිට එම සැලසුම ප්‍රමාද කර ඇති බව මාධ්‍ය වාර්තා පළකරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිල නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම හා ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්නා කණ්ඩායම සමග මෙම නව දේශපාලන පක්ෂය ආරම්භ කිරීමට සූදානම් වූ අතර අවස්ථා කිහිපයකදී  ඒ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා දැඩි ප්‍රකාශ සිදු කරනු ලැබීය.

එහෙත් මේ වනවිට වාර්තා වන්නේ අලුතින් ආරම්භ කරනු ලබන පක්ෂයේ නායකයා බවට දිනේෂ් ගුණවර්ධන පත් කිරීමට සූදානම් බවය. මෙම තත්වයට බලපා ඇත්තේ පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් රැස්වූ ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේදී පක්ෂ විනය උල්ලංඝනය කරන, පක්ෂ තීන්දු හා නායකත්වය විවේචනය කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කිරීමත් සමගය.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රීලනිපයේ තීන්දුවලට එරෙහිව කටයුතු කරන වෙනත් පක්ෂ එක්වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටත් අවශ්‍ය නම් පක්ෂයෙන් නෙරපා හැර මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීම වුවද සිදු විය හැකි බව ප්‍රකාශ කිරීමත් සමග මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම මේ වනවිට දැඩි දේශපාලන පසුබෑමකට මුහුණ දී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

Share on Google Plus