මහින්දගේ පක්ෂයට බාලගිරි දෝෂය.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ සහභාගීත්වයෙන් ඇරඹීමට නියමිත පක්ෂය හැදීමේ කටයුතු දින  නියමයකින් තොරව කල්දමා ඇති බවට මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම ආරංචි මාර්ග උපුටා දක්වමින් Gossip Lanka Political වෙබ්අඩවිය වාර්තා කරයි.  

එම වෙබ්අඩවි වාර්තාව පහතින්,

"මෙසේ පක්ෂය හැදීම කල්යාමට මූලික හේතුව වී ඇත්තේ එහි කටයුතු සඳහා බැසිල් රාජපක්ෂ මහතා සහභාගි කරවා ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ  විපක්ෂයේ හවුල්කාර පක්ෂ දක්වන විරෝධයයි. නව පක්ෂයේ වැඩකටයුතු සම්බන්ධීකරණය මහින්ද රාජපක්ෂ මහතා විසින් බැසිල් රාජපක්ෂ  මහතාට පැවරීම පිළිබඳව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා,  කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩියු ගුණසේකර මහතා, සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා හා වාසුදේව නානායක්කාර මහතා මෙන්ම  පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ද තදබල ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙන්ම ඔහුගේ මිතුරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මහින්ද  රාජපක්ෂ මහතාගේ තීරණයට විරුද්ධ වී තිබේ.

පක්ෂය සෑදීම පිළිබඳව පසුගියදා මිරිහානේ පැවති රැස්වීමේදී ඔවුන් සියලුදෙනා අමතා මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ 'බැසිල්  සුදනෙක් කියල මං කියන්නෑ. නමුත් මිනිහගෙ කපටිකම මේ වෙලාවෙ අපිට අවශ්‍යයි. මම 2005 දිනුවෙ තනිකරම බැසිල් නිසා. දේශපාලන ගේම්  ගහන්න, කුමන්ත්‍රණ කරන්න මට බැසිල්ව ඕන. දැනටමත් මිනිහ අවශ්‍ය වැඩටික කරල ඉවරයි' කියාය.

මෙහිදී රාජපක්ෂ මහතා තවදුරටත් පවසා ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසට වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කිරීම සඳහා අවශ්‍ය වටපිටාව බැසිල් රාජපක්ෂ මහතා රජයේ ද සහයෝගය ඇතිව සකස් කර තිබෙන බවයි. 

නමුත් එහිදී විරෝධය පාන මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ අද 2005 ට වඩා වෙනස් තත්වයක් පවතින බවයි. ඊට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා  නැවත ප්‍රකාශ කර ඇත්තේ 'මේ ආණ්ඩුවෙ බාගයක් ඉන්නෙ බැසිල්ගෙන් උදව් ගත්ත අය. මම නම් කියන්න ඕන නෑනෙ. ඒ හැම එක්කෙනාම බැසිල්  එක්ක යටින් සම්බන්ධකම් පවත්තනවා. ඒක අපේ වැඩේට ලේසියි' යනුවෙනි.

හිටපු ජනාධිපතිවරයාගේ කතාව රැස්වීමට සහභාගි වූ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් පිළිගෙන ඇතත් පක්ෂ නායකයන් ඒ පිළිබඳව එතරම් ප්‍රසාදයක්  දක්වා නොමැත. ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා තම සමීපතමයන්ට පවසා ඇත්තේ 'මුං හැම එකෙක්ටම ඕනෙ මගේ පානෙන් එළිය බලලා උන්ගෙ ගොඩ වැඩිකර ගන්න විතරයි' කියාය.

තත්වය මෙසේ වන බැවින් පක්ෂය හැදීමේ කටයුතු දින නියමයක් නොමැතිව කල්දමා ඇති බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි."

-Gossip Lanka Political


Share on Google Plus