මහින්දානන්ද අහවර වන ලකුණු.


හිටපු ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නීති විරෝධී ලෙස සහ අයථා ලෙස කෙටි කාලයකදී මහජන මුදල් හා දේපොළ වංචා කර වත්කම් උපයාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දේශීය සහ විදේශීය බැංකුවල වාර්තා ලබාගෙන පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (24) නියෝග කර ඇත.

මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සහ හිටපු ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා, නීති විරෝධී ලෙස කෙටි කාලයකදී වත්කම් උපයාගෙන ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු උතුරුමැද පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර තිබූ පැමිණිල්ලක් ඊයේ කැඳවූ අවස්ථාවේදී ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කර තිබේ.

පැමිණිල්ලේ සඳහන් වරද මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන වරදක් බවත් හිටපු ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නීති විරෝධී ක‍්‍රියාකාරකම් සහ අයථා ක‍්‍රම මඟින් උපයාගත් මුදල් විදේශීය බැංකු ගිණුම්වල සහ දේශීය බැංකු ගිණුම්වල තැන්පත් කරමින් ගනුදෙනු සිදුකර ඇති බවට හා එම මුදලින් විශාල වශයෙන් දේපොළ මිලදී ගෙන ඇති බවට අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දන්වා ඇත.

මේ සිද්ධියට අදාළව පුද්ගලයින් 16 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බවත් එලෙස මුදල් තැන්පත් කරමින් ගනුදෙනු කර ඇති බවට සැකකරන දේශීය හා විදේශීය බැංකුවල තිබෙන ගිණුම් හා ඊට අදාළ ලේඛන පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබේ. 

එම ඉල්ලීමට අවසර ලබාදුන් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළව සිදු කරන පරීක්ෂණයේ ප‍්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

Share on Google Plus