මෛත්‍රි-මහින්ද අවසන් සටන ඇරැඹේ.


ශ්‍රී ලනිප සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හටගෙන තිබෙන දේශපාලන සටන මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්, නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාව CSN නාළිකාවට අදාළව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගැනීම ඊට බලපා ඇති ආසන්නතම හේතුව බවට පත්ව තිබේ.

එම සිද්ධියෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන රැස්වීම්වලට ප්‍රසිද්ධියේම සහභාගි වී අලුත් පක්ෂයක් බිහි කිරීම පිළිබඳව අදහස් දක්වමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන භූමිකාව ප්‍රසිද්ධියේ විවේචනයට ලක්කරනු ලැබීය.

හිටපු ජනාධිපතිවරයා එලෙස කටයුතු කිරීමත් සමඟම දූෂණ වංචා පිළිබඳ දැනට තිබෙන පරීක්ෂණ තරාතිරම නොබලා ඉදිරියට ගෙනයෑමටත්, ඒ කිසිදු පරීක්ෂණයකට කිසිදු ආකාරයක අතපෙවීමක් සිදු නොකිරීමටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. එසේම ඉදිරියේදී ඇති විය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානමින් සිටින්නැයිද මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයන් හට ප්‍රකාශ කර ඇති බවක්ද දැනගන්නට තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පසුගිය දිනවල පැවැති සාකච්ඡාවලදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ද නව පක්ෂයක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කර ඇති අතර පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඉදිරියට දේශපාලන කටයුතු පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් මතු වී ඇති බවද ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත.

ඒ අනුව බිහිවන නව පක්ෂයේ නායකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිය යුතු යැයි මීට පෙර ප්‍රකාශ වී තිබුණද මේ වන විට එම නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා විසින්ම භාර ගත යුතු බවට මෙහිදී මන්ත්‍රිවරුන් මහින්ද රාජපක්ෂ මහතා හට බලපෑම් කළ බවද දැනගන්නට ඇත.

මේ අතර පසුගිය කාලයේදී සිදුවූ බරපතළ මූල්‍ය වංචා පිළිබඳ පරීක්ෂණ 38ක් මේ වන විට ජ්ඛ්ධ්ච් ආයතනය විසින් අවසන් කරනු ලැබ ඇති අතර ඊට අදාළ නීතිමය පියවර ගැනීමටද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සූදානම් වන බව වාර්තා වෙයි. ඒ අනුව චෝදනා ලබා සිටින තවත් කිහිප දෙනකු ඉදිරි සතියේදී අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ඉදිරිපත් කිරීමට සූදානමක් ඇති බවක්ද දැනගන්නට තිබේ.

Share on Google Plus