මහින්දගෙන් රනිල්ට ඇමතුමක් - යෝෂිතට ඇප දෙන ලකුණු?


හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඇති බව සැලවූ වහාම මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක්ගෙන යෝෂිතට ඇප ලබාගැනීමට හැකිදැයි සොයා බලන ලෙස ඉල්ලීමක් කර ඇතැයි සතිඅන්ත පුවත් පත් වාර්තා කරයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ඇමතුමක් දෙමින් මේ ගැන විමසා ඇති බවත්, යෝෂිත රාජපක්ෂට විරුද්ධව එල්ලවී ඇති චෝදනා බරපතළ නිසා සහනයක් ගැනීම අපහසු බවත් මෙහි ඇති බරපතලම චෝදනා පොදු දේපළ අවභාවිතාව සහ මුදල් විශුද්ධිකරණය බවත් එහිදී ඔවුන් සඳහන් කර ඇතැයි එහි සඳහන් වේ.

ඉන් ටික වේලාවකට පසු මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ අතර මේ සම්බන්ධයෙන් තවත් දුරකථන සංවාදයක් සිදුව ඇත.

කෙසේ නමුත් මේ වනවිට වාර්තා වන්නේ යෝෂිත රාජපක්ෂට ගොනු කර ඇති චෝදනාවලට පොදු දේපළ පනත යටතේ ගැණෙන චෝදනා ගොනු කර නැති බවය.

යෝෂිත රාජපක්ෂට එරෙහිව සනාත වී ඇති මූල්‍ය අපරාධ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධීකරණ පනත යටතේ සහ රේගුආඥාපනත උල්ලංඝණය කිරීම ඇතුළු චෝදනා 07ක් යටතේය. 
CSN නාලිකාවට යොදවා තිබෙන රුපියල් ලක්ෂ 2,340ක මුදල ලබා ගත් ආකාරය සනාත කිරීමට චූදිතයන්ට හැකිවී නැති පසුබිමක් තුළ මුදල් විශුද්ධි කරන සහ පොදු දේපල යන පත් දෙකම ආවර්ණය වන පරිදි චෝදනා ගොණු කළ හැකි වුවද එසේ නොකිරීම මහින්ද-රනිල් දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් දැයි බරපතල සැකයක් මතුව තිබේ.

-LT

Share on Google Plus