එකම දැයක් - මහ බලයක්


හැට අට වැනි නිදහස් සමරු උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුව‍ෙදාර පිටියේදී අද (4දා) පෙරවරුවේ උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් අයුරින් පැවැත්වේ.

නිදහස් සමරු උළෙල වෙනුවෙන් අද පෙරවරු 6.30ට කොළඹ 03, පොල්වත්ත ධර්මකීර්ත්‍යාරාම විහාරස්ථානයේදී බෞද්ධ ආගමික වතාවත්ද, කොළඹ 13, ශ්‍රී පොන්නම්බල වානේශ්වර දේවස්ථානයේදී හින්දු ආගමික වතාවත්ද, මරදාන ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී ඉස්ලාම් ආගමික වතාවත්ද, බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේදී කතෝලික දේව මෙහෙයද, වූල්ෆැන්ඩල් මාවතේ, ක්‍රිස්තියානි රෙපරමාදු දේවස්ථානයේදී ක්‍රිස්තියානි දේව මෙහෙයද සිදු කෙරේ. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ පිළිරුව අබියස පුෂ්පෝපහාර පිරිනැමීම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 7.30ට සිදුකෙරේ. පෙරවරු 8.45ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එම මැතිනිය උත්සව භූමියට පැමිණීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති විසින් ජනාධිපතිවරයා ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන යනු ලබයි.

මඟුල් බෙර වාදනය සහ සක් පිඹීම මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් අනතුරුව පාසල් සිසු සිසුවියන් සිය දෙනකු විසින් ජාතික ගීය ගායනා කරනු ලබයි. ආරක්ෂක මණ්ඩල ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පති විසින් ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව වෙත කැඳවා ගෙන යෑමෙන් අනතුරුව, පාසල් සිසු සිසුවියන් විසින් ජය මංගල ගාථා සහ 'දේවෝ වස්සතු කාලේන' ගායනා කිරීම සිදුකෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයෙත්, භෞමික අඛණ්ඩතාවයේත්, තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්දතාව සිදු කෙරෙන්නේ ඉන් අනතුරුවය.

ජනාධිපතිවරයා වෙත ආචාර වෙඩි මුර 21ක් පිරිනැමෙන ජනාධිපති උත්තමාචාරය පිරිනැමීමෙන් අනතුරුව පෙරවරු 9.15ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජාතිය ඇමැතීමට නියමිතය. යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය විසින් පවත්වනු ලබන ආචාර පෙළපාළිය, පෙරවරු 9.45ට පැවැත්වේ. එම පෙළපාළියට 6,633 දෙනෙක් සහභාගි වෙති. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් ආචාර වෙඩි මුර 25ක් පිරිනැමීම සිදුකිරීමෙන් අනතුරුව නිදහස් සමරු උළෙලේ පෙරවරු වැඩසටහන නිමාව දකී.

'නිදහසේ හදගැස්ම - ලොව දකින මඟ මවන පෙරදැක්ම' සංස්කෘතික සහ සංගීත ප්‍රසංගය අද සවස 7ට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුව‍ෙදාර පිටියේදී පැවැත්වෙයි. පණ්ඩිත් අමරදේවයන්ගේ ප්‍රධානත්වයෙන් සංගීත ප්‍රසංගය පැවැත්වෙන අතර සංස්කෘතික හා සංගීත ප්‍රසංගය නැටුම්, ගැයුම්, වැයුම් ආදියෙන් සමන්විතය.

Share on Google Plus