රන් පදක්කම් දිස්නය සහ කළු පැල්ලම්.


මේ එළඹ තිබෙන්නේ ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට ප‍්‍රීතියෙන් ඉපිල ගොස් සිටීමට හැකිව තිබෙන කාලයකි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පදක්කම් ගෙනෙන විට ක‍්‍රීඩා ඇමැති ගොඩ යෑම සාමාන්‍ය දෙයකි.

මන්ද ක‍්‍රීඩා ඇමැතිගෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ එය නිසාය.

එහෙත් මෙවර සාග් ක‍්‍රීඩා උළෙලේ දී ලැබූ පදක්කම්වල දිස්නයෙන් මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ඇති කළු පැල්ලම් වැසිය හැකි වන්නේ නැත. මෙවර සාග් ක‍්‍රීඩා උළෙල සම්බන්ධයෙන් ගැටලූ ගණනාවක්ම පැන නැගී තිබූ අතර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගණනාවක් අසාධාරණයට ලක්ව තිබිණි. ඒ අතර බරපතළ ගැටලූකාරිත්වයක් ඇති කළේ හොකී ක‍්‍රීඩක දිනුක වීරසූරියව කණ්ඩායමෙන් ඉවත් කිරීමත් ඔහු විසින් ඊට එරෙහිව ගත් අධිකරණ ක‍්‍රියා මාර්ගයත්ය.

දිලූකගේ ගැටලූව හුදු ක‍්‍රී‍්‍රඩකයකුගේ ගැටලූවක් නොවේ. අප පසුගිය සතියේ ද මේ ගැන යම් අවධාරණයක් සිදු කළේ මේ ගැටලූව මෙරට ක‍්‍රී‍්‍රඩා සංගම් මාෆියාව විසින් ඇති කර තිබෙන ගැටලූවක් බවය. ශ‍්‍රී ලංකා හොකී සම්මේලනය යනු එම මාෆියවේ ප‍්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. වසර ගණනාවක් මුළුල්ලේම මේ සම්මේලනයේ සභාපතිත්වය උසුලනු ලැබුවේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහය. එමෙන්ම සෙසු නිලධාරීන් ලෙස සිටියේ ද ඔහුගේම සහචරයන් පිරිසකි. ඔවුන් යටතේ මෙම සම්මේලනය සිදු කළේ මෙරට හොකී ක‍්‍රීඩාව නැංවීම වෙනුවට ක‍්‍රීඩාව විනාශ කිරීමය; ශ‍්‍රී ලංකාවේ නම කැත කිරීමය. මේ හේතුවෙන් දිගින් දිගටම එම පරිපාලනයට එරෙහිව හොකී කී‍්‍රඩා සංගම්වලින් මෙන්ම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් ද චෝදනා එල්ල විය.

මෙම සම්මේලනයේ නිලධාරීන් යටතේ ශ‍්‍රී ලංකා ජාතික හොකී පිරිමි කණ්ඩායමේ නායකයා සහ උපනායකයා දිගින් දිගටම පළි ගැනීමට ලක් වූ කාලයක් තිබිණි. ඒ නිලධාරීන්ගේ නොපනත්කම් මාධ්‍යයට හෙළි කළා යන චෝදනාව නිසාය, ඒ නිසාම ක‍්‍රීඩා තහනමකට ද ලක් විය. 2010 වසරේ දී බංග්ලාදේශ සංචාරයේ දී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට නව තැන් හෝ ආහාර පාන ලබා නොදී ඩකා නුවර අතරමං කර දැමූ බව එවකට මාධ්‍ය ඡායාරූප සමඟ හෙළි කර තිබිණි. එම ගැටලූව මත මෙම සම්මේලනයේ නිලධාරීන්ගේ වෛරයට ගොදුරු වූ ප‍්‍රථම ක‍්‍රීඩකයා වූයේ දිලූක වීරසූරිය ය.

මෙවර සාග් සංචාරයේ නායකත්වය ලැබිය යුතු මට්ටමේ සිටි ජ්‍යේෂ්ඨතම හා පළපුරුදු ක‍්‍රීඩකයා වූයේ දිලූකය. මීට පෙර අවස්ථා දෙකකදීම ඔහු මෙම ක‍්‍රීඩා උළෙල නියෝජනය කර තිබුණ අතර මෙරටට පදක්කම් රැසක් ගෙන ඒමට ද සමත් වූ ක‍්‍රීඩකයෙකි.

පසුගිය වසරේ පැවති ජාතික ක‍්‍රීඩා උළෙලේ මධ්‍යම පළාත් කණ්ඩායමට නායකත්වය දුන් දිලූක එම කණ්ඩායමට එහි ශූරතාවය හිමිකර දීමට සමත් වූ අතර එම තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයාට හිමි සම්මානය පවා ලබා ගත්තේය.

එහෙත් මෙවර සාග් තරගාවලිය සඳහා කණ්ඩායම තේරීමේ දී අවසන් 25 දෙනා අතරටවත් ඔහුගේ නම සඳහන් වූයේ නැත. මේ සම්බන්ධයෙන් ක‍්‍රීඩකයා ක‍්‍රීඩා ඇමැතිවරයාට කළ පැමිණිල්ලට අනුව තේරීම් කමිටුව ඇමැතිවරයාට දැනුම් දී තිබුණේ දිලූක වසර 5 කින් මෙහා හොකී ක‍්‍රීඩාවේ නිරතව නොසිටි බවය. නමුත් දිලූක 2012 ආසියානු සම්මේලන කුසලානය වෙනුවෙන් වූ තරගාවලියේ දී මෙරටට ලෝකඩ පදක්කම දිනා දුන් කණ්ඩායමේ ද සාමාජිකයකුව සිටි බව මේ නිලධාරීන් ඇමැතිවරයාගෙන් වසන් කළේය. නමුත් පසුව නැවතත් දිලූකව සලකා බලන්න යැයි ඇමැතිවරයා දැනුම් දුන් අතර ඒ සඳහා සතියක කාලයක පුහුණු වීම්වලින් පසුව තමන්ට තීරණය දැනුම් දීමට නියම කළේය. නමුත් දින දෙකක් ඇතුළත මෙම නිලධාරීන් සිදු කළේ ක‍්‍රීඩකයාගේ ශාරීරික යෝග්‍යතාව මදි යැයි කියමින් ඇමැතිවරයාට වාර්තාවක් යවා නැවත ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමය. නමුත් ඕනෑම ක‍්‍රීඩකයකුගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් තිබේ නම් ඒ පරීක්ෂණ කිරීමේ ක‍්‍රමවේදයක් තිබේ. එහෙත් දිලූක සම්බන්ධයෙන් එවැනි කිසිදු ක‍්‍රියා මාර්ගයක් ගත්තේ නැත.

මේ සම්බන්ධයෙන් නැවත ඇමැතිවරයාට පැමිණිලි කළ ද ඇමැතිවරයා කැඳවූ සාකච්ඡාවට මේ තේරීම් කමිටුවේ සාමාජිකයන් 5 දෙනාගෙන් කිසිවකු හෝ පැමිණ සිටියේ නැත. ඒ මොහොතේ දී ද ක‍්‍රීඩා ඇමැතිවරයා දිලූකට අවස්ථාවක් දෙන්නැයි ඉල්ලා සිටියේය. එහෙත් නිලධාරියකු පවසා තිබුණේ ඔහුට ක‍්‍රී‍්‍රඩා පිටියේ දී වමනය යෑම සිදු වූ බවය. එහෙත් එය අසත්‍යයක් වූ අතර ක‍්‍රීඩකයාට වමනය ගියා නම් ඔහුව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතුව තිබිණි. එහෙත් එවැනි කිසිවක් සිදු කර තිබුණේ නැත. අවසානයේ දී ක‍්‍රීඩා ඇමැතිවරයා ද මේ නිලධාරීන්ගේ බොරු බේගල් විශ්වාස කර දිලූකව කපා හැර නම් කරනු ලැබූ කණ්ඩායම අනුමත කළේය. තවදුරටත් ඇමැතිවරයා හා කතා කිරීමෙන් ඵලක් නැති තැන දිලූක අධිකරණයට ගියේය. ක‍්‍රීඩා ඇමැතිවරයා ගත්තේ නිලධාරීන්ගේ පැත්තය. ක‍්‍රීඩකයා බොරුකාරයකු බව ඔහු ප‍්‍රසිද්ධියේ කීවේය.

මේ ප‍්‍රශ්නයේ දී අවධාරණය කළ යුතු කරුණ නම් දයාසිරි ජයසේකර ක‍්‍රීඩා නිලධාරීන්ගේ මාෆියාවට යට වෙන්නේ මේ නිලධාරීන්ට කිසිදු පරිපාලන බලයක් හෝ නොපවතින අවස්ථාවක දී වීමය. ඇමැතිවරයා කෙතරම් බංකොලොත් ද යන්න ඒ අනුව සිතාගත හැක.

මේ මෙහොතෙත් ශ‍්‍රී ලංකා හොකී සම්මේලනය යනුවෙන් යාන්ත‍්‍රණයක් මෙරට නැත. පසුගිය වසරේ දී සුමිත් එදිරිසිංහගේ සභාපතිත්වයෙන් යුත් විවිධ දූෂණ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කණ්ඩායම ද හොකී නිලවරණය සඳහා ඉදිරිපත් විය. වසර හතරේ නීතිය හේතුවෙන් සුමිත් එදිරිසිංහ වගකිව යුතු නිලධාරී මණ්ඩලයට එක් නොවුණ ද විධායක කමිටු සාමජිකයකු ලෙස තරග වැදීමට නාම යෝජනා ඉදිරිපත් කළේය. එම කණ්ඩායමට එරෙහිව තවත් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් වූ අතර ඒ තුළ හිටපු ජාතික ශූරයන් ඇතුළු පිරිසක් ඇතුළත් විය. නමුත් නාමයෝජනා බාර දීමට ලබා දීම සඳහා දන්වා තිබූ වෙලාවට පෙර නාම යෝජනා ලබා දුන්නේ දෙවන කණ්ඩායම විසින්ය. සුමිත් එදිරිසිංහලා නාම යෝජනා ලබා දෙන විට කාලය අවසන්ව තිබිණි. එමඟින් දෙවන කණ්ඩායමට නිතරග ජයග‍්‍රහණයක් හිමි විය. එහෙත් එම කණ්ඩායමට වැඩ කිරීමට ඉඩ නොතබා සුමිත් එදිරිසිංහලාගේම සහචරයන් පිරිසක් විසින් සුමිත් එදිරිසිංහලාගේ නාම යෝජනා ප‍්‍රතික්ෂේප කිරීම වැරැදි බව සඳහන් කරමින් නඩුවක් පැවැරීය. ඒ අනුව ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් හොකී පරිපාලනය ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා ගන්නා ලදී.

එහෙත් මෙවර සාග් තරගාවලිය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්, විනිසුරුවරයන් හා පුහුණුකරුවන් තෝරා ගැනීම සඳහා වන කමිටුවලට ඇමැතිවරයා විසින් පත් කරනු ලැබුවේ සුමිත් එදිරිසිංහලාගේ සහචරයන් පිරිසකි. ප‍්‍රශ්නය ඇරඹෙන්නේ ඒ අනුවය. එය ක‍්‍රීඩා ඇමැතිවරයා හා මේ සංගම්කරුවන් අතර ඇති සබැඳියාවන් පෙන්නුම් කරන්නකි. එමෙන්ම මෙවර කණ්ඩායමේ කළමනාකරු ලෙස ගියේ ද 2010 දී ක‍්‍රීඩකයන්ව ඩකා නුවර අතරමං කර දැමූ කළමනාකරුවා වන මේජර් බී. ජී. ආර්. ප‍්‍රනාන්දුමය.

එමෙන්ම මෙහි දී හොකී කණ්ඩායම සමඟ පුහුණුකරුවන් හා විනිසුරුවරුන් යැවීම සම්බන්ධයෙන් ද මෙලෙස ගැටලූකාරී තත්ත්වයකට මුහුණ දුන්නේය. සාමාන්‍යයෙන් මෙලෙස ජාත්‍යන්තර තරගාවලියක දී විනිසුරුවරකුව ද අදාළ රටේ කණ්ඩායම සමඟ යැවීම සිදු විය යුතුය, එම විනිසුරුවරයා නම් කරන්නේ ද හොකී සම්මේලනයෙනි. ඊට මෙරට සිටින ජාත්‍යන්තර මට්ටමේ විනිසුරුකරුවකුව නම් කළ යුතුව තිබිණි. නමුත් පැවති හොකී සම්මේලනයේ දූෂිත නිලධාරීන්ගේ ක‍්‍රියාකාරකම්වලට එරෙහිව මෙරට හොකී විනිසුරුවරයන්ගේ සංගමයට එරෙහිව සිටීම නිසා එදිරිසිංහලා විසින් ඇමැතිවරයාව අන්දවා මෙවර විනිසුරුවරයකු ලෙස රටත් ලෝකයත් රවටා ඉන්දියාවට පිටත් කර හැරියේ හොකී පුහුණුකරුවකුය. අඩුම තරමින් මේ පුහුණුකරු මෙරට ජාතික තරගයක් හෝ වැරැදීමකින්වත් විනිශ්චය කරන්නට සහභාගි වී නැත.

මෙරට ජාත්‍යන්තර හොකී විනිසුරුවරුන් දෙදෙනකු හා ඊට සුදුසුකම් ලැබීමට නියමිතව සිටින විනිසුරුවරයකු සිටී. ඒ නව්ෂාඩ් මහතාය, ඔහු තවමත් 33 වැනි වියේ පසුවන්නකු වන අතර ජාත්‍යන්තර විනිසුරුවරයකු ලෙස පත් වීමට ලැබිය යුතු ලකුණු සීමාව වන 7 ඉක්මවා 7.5 ක් ලබා ගත් අයෙකි. චන්දන හේරත් බණ්ඩර 7.4 සීමාවේ පසුවන්නෙකි. ඊට පහළින් සිටින්නේ රොෂාන් හේමන්ත මහතාය ඔහු 6.78 හි පසුවන්නකි. එහෙත් ඇමැති ආශිර්වාදය හිමි වූයේ එක දශමයක ලකුණක්වත් නැති එදිරිසිංහලාගේ සහචරයාටය.

- රන්දි කිදෙල්පිටිය
SathHandha

Share on Google Plus