ඉන්දියාව සමග නිදහස් ආර්ථික හා තාක්ෂණික ගිවිසුම ඉදිරියට ගෙන යනු!


යෝජිත ඉන්දු - ලංකා ආර්ථික තාක්ෂණික ගිවිසුම ප්‍රසිද්ධ කළ යුතු ය. එය මහජන සංවාදයට බඳුන් කළ යුතු ය. පාර්ලිමේන්තුවේ විවාද කළ යුතු ය.

ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ බරපතල වගකීමක් ආණ්ඩුවට තිබේ.

මේ වන විට මහින්ද රාජපක්ෂගේ මුදලින් යැපෙන මාධ්‍ය හා දේශපාලනය යනු කඩාකප්පල්කාරිත්වය යි සිතා සිටින පක්ෂ හා කල්ලිවලට සම්බන්ධ මාධ්‍ය ගජරාමෙට කරමින් සිටින්නේ එට්කා නම් බිල්ලකු නිර්මානය කරමින් සමාජය බියපත් කිරීමයි. එය ඔවුන් හඳුන්වන්නේ මාධ්‍ය නිදහස ලෙසයි.

මෙම මාධ්‍ය විසින් ප්‍රබන්ධ කරනු ලබන පුවත් පිළිබඳ නිදසුනක් ලෙස මෙම සබඳතා පුරුකෙහි ඇති ප්‍රවෘත්තිය දක්වමි. මෙහි මාතෘකාවෙන් කියන ආකාරයට තමන්ට රැකියා නැති නිසා ශ්‍රී ලංකාවේ රැකියා ලබා ගැනීම පිණිස එට්කා ගිවිසුම අත්සන් කරන්නැයි ඉන්දියාවේ රැකියා විරහිතයන් උද්ඝෝෂණය කරන බවයි. එහෙත්, ප්‍රවෘත්තියෙහි එහෙම දෙයක් නැත.

එට්කා සම්බන්ධයෙන් වන මාධ්‍ය ප්‍රචාර තනිකර ම මෙවැනි ඒවා ය. ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ලෙස පෙනෙන ආකාරයට ලාංකිකයන් අන්දා වීඩියෝ නිර්මානය කර තිබෙන ආකාරය ද අපි දුටුවෙමු. මෙහොතකට පෙර මා දුටු වීඩියෝවක ඇත්තේ බරනැස වීදියක දත් බඳින මිනිසකු පිළිබඳ විස්තරයකි. දත් බඳින අය දන්ත කාර්මිකයන් මිස දන්ත ශල්‍ය වෛද්‍යවරු නොවෙති. පිළිගත් දන්ත කාර්මිකයකු වීමට ද විධිමත් පිළිවෙලක් තිබේ. එහෙත්, ඒ විධිමත් පිළිවෙලවල් අනුගමනය නො කරන හොර වෙද්දු ලංකාවේ ද ඕනෑ තරම් සිටිති. එ් කාරණා එසේ වෙද්දී එම වීඩියෝව ෆේස්බුක්හි බෙදාගෙන තිබුණේ එට්කා ගිවිසුමෙන් පසු ලංකාවේ දන්ත වෛද්‍ය විද්‍යාවට වන්නේ මෙය බව කියමිනි.

ලංකාවේ හොර වෙද්දු හිටියේ පේමන්ට් එකේ නොව රජගෙදරයි. එලියන්ත වයිට් නම් හොර වෙදා උදාහරණයකි. මහින්ද රාජපක්ෂගේ අනුග්‍රහය හොර වෙදුන්ට ලැබුණා ය කියා ලංකාවේ බටහිර වෛද්‍ය විද්‍යාවට කිසිදු හානියක් වූයේ නැත. මරදන්කඩවල වෑල්ඩිං වෙදා හිටියා ය කියා විකලාංග වෛද්‍ය විද්‍යාවට මොකවත් වූයේ නැත. වෙන දේවල් වුණේ මෝඩයන්ගේ අත පයවලට ය.

මාධ්‍ය විසින් කළ යුතුව තිබෙන්නේ බුද්ධිමත් සාකච්ඡා ඇති කිරීම මිස බිල්ලන් නිර්මානය කරමින් සමාජය බිය වැද්දීම නො වේ. ඉන්දියානු විරෝධය යනු ලංකාවේ සිංහල සමාජය තුළ මුල් බැසගෙන තිබෙන ජාතිවාදයේ හා දෙමළ විරෝධයේ ම තවත් එක් ස්වරූපයකි. ඉන්දියානු විරෝධය ඔස්සේ කරන්නේ ද ඒ සිංහල ජාතිවාදයට ආමන්ත්‍රණය කිරීමයි. 

එට්කා විරෝධී උද්ඝෝෂණයේ මාධ්‍ය භූමිකාව මේ ජාතිවාදය ඉතා පැහැදිලිව නිරූපණය කරයි. එට්කා විරෝධී වෘත්තිකයන්ගේ කෙරුවාව ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. ඒ ගැන මුළු රට ම දනිති. වෛද්‍යවරු වැඩි දෙනෙක් රජයෙන් සාපේක්ෂව ඉහළ වැටුප් අරගෙන, මහජනතාවට සේවය නො කර, පෞද්ගලික වෛද්‍ය ව්‍යාපාරවල යෙදී සිටින බව හා ඔවුන් හික්මවන්නට හා ශිෂ්ට කරන්නට ගන්නා ඕනෑම උත්සාහයකදී මහජනතාව විපතට පත් කරන බවට තර්ජනය කරමින් වර්ජන අසිපත ලෙලවන වෘත්තිකයන් පිරිසක් බව නො දන්නේ කවුරු ද?

දේශපාලනය යනු කඩාකප්පල්කාරිත්වය යයි සිතා සිටින වාමාංශික දේශපාලන පක්ෂ හා ඊනියා විප්ලවවාදියෝ එට්කා විරෝධී උද්ඝෝෂණය පිටුපස අභිරුචියෙන් යන්නේ එළුවාගේ සෙළවෙන වෘෂණ කෝෂ දැන් දැන් වැටෙනු ඇතැයි සිතමින් තොල කට ලෙව කමින් පස්සෙන් ගිය නරියා සේ ය. තමන්ට සෙනග හා ඡන්ද නැති අර්බුදය ඍජු හෝ වක්‍ර‍ ජාතිවාදයන්ගෙන් වසා ගන්නට ඔවුන් ඉතිහාසය පුරා ම දැරූ උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බව ඔවුන් කිසි දිනෙක තක්සේරු කර ගන්නේ නැත.

ලෝකය සමග නිදහස් ආර්ථික ගිවිසුම් අත්සන් කරමින් ඉදිරියට යන්නට නො වේ නම්, අති විශාල වශයෙන් ණය ගනිමින් හම්බන්තොට වරාය වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති දියත් කළේ කුමටදැයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කරන ප්‍රශ්න කිරීම ඉතා නිවැරදි ය. මේවා කර ඇත්තේ අනාගත පරම්පරා උගසට තබමිනි. අප ඒ ණය ගෙවිය යුතු ය. ලංකාව වැනි කුඩා ආර්ථිකයන්ට ආර්ථික ජාතිවාදයෙන් කිසිවක් ලැබෙන්නේ නැත. ජාතිකවාදී ස්වයංපෝෂණ ප්‍රතිපත්තිවලින් භාණ්ඩ හිඟය හා දරිද්‍රතාව හැර අන් කිසිවක් ලැබෙන්නේ නැත.

නිදහස් ආර්ථික ගිවිසුම් පිළිබඳ සාකච්ඡාවල පදනම වන්නේ දීම හා ගැනීමයි. සම්පූර්ණයෙන් ම වෙනත් රටකට යටත් වන ආර්ථික ගිවිසුම් අත්සන් කරන්නට ලෝකයේ කිසිදු රටකට උවමනාවක් නැත. එසේම වෙනත් ජාතික ආර්ථිකයන් හා ලෝකය සමග සම්බන්ධ නො වෙමින් කිසිදු ජාතික ආර්ථිකයකට ඉදිරියට යන්නට බැරි ය. ලංකාව වැනි රටකට කොහොමත් බැරි ය. නිදහස් ආර්ථික ගිවිසුම් විග්‍ර‍හ කර ගත යුත්තේ ඒ පදනමිනි. 

දේශපාලනිකව අප ඉන්දු-ලංකා ආර්ථික හා තාක්ෂණික ගිවිසුමට සහයෝගය දක්වන්නේ ඇයි ද යන්න අපි කලින් ලිපියක ද පැහැදිලි කළෙමු. එහි මෙසේ සඳහන් විය:

ආර්ථික ජාතිවාදය ද තවත් ස්වෝත්තමවාදයකි. ජාතිවාදයෙන් ලෝකයට කිසිවක් ලැබෙන්නේ නැත. සීපා තුළ හොඳ, නරක දෙක ම තිබේ. එහෙත්, අප කැමති වුණත්, නැතත්, ලෝකයට ඉදිරියට යන්නට තිබෙන මාර්ගය ඇත්තේ දේශ සීමා මකා දැමීම හරහා ය. එය සමාජවාදය තුළින් සිදු නො වනවා ය කියා ජාතිවාදී වීමට වාමාංශිකයන්ට අයිතියක් නැත. 

ඉන්දියාව සමග අත්සන් කරන්නට යන ගිවිසුම්වල ඇත්තේ නරක පමණක් නො වේ. එහි හොඳ ද තිබේ. හොඳ දක්වන අය හොඳ පමණක් පෙන්වා දෙති. නරක දකින අය පෙන්වා දෙන්නේ නරක ම පමණි. මේ පිළිබඳ පැහැදිලි අදහසක් පළ කළ හැක්කේ හැඟීම්බර කතාවලින් නො වේ. විද්‍යාත්මක අධ්‍යයනයකින් පමණි. කිසිවෙක් එවැන්නක් කරන්නේ නැත. ඉන්දියාවේ රස්සාවලට ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව ගැන පුවත් හොය හොයා නැවත පළ කිරීම ඊට වඩා පහසු ය.

මගේ මූලික අදහස මෙයයි. ඉතිහාසය ඉදිරියට යන්නේ රට රටවල්, ජාතීන් හා සමාජයන් අතර ආර්ථික, දේශපාලන, සමාජ සම්බන්ධතා ශක්තිමත් වෙමින් ය. එසේ ශක්තිමත් වන විට මිනිසුන්ගේ දේශපාලන ප්‍රජාවන් ද පුළුල් වේ. නිදසුනක් ලෙස පසුගිය සියවසේ මුල වන විට සිටි සිංහල භාෂාව කතා කරන උඩරට, පහතරට, ගොවිගම, කරාව ආදී දේශපාලන ප්‍රජාවන් දැන් වඩා පුළුල් සිංහල දේශපාලන ප්‍රජාවක සංවිධානගත වී සිටිති. යුරෝපා සංගමය තුළ යුරෝපා ප්‍රජාවක් ගොඩනැගෙමින් ඇත.

කොමියුනිස්ට්වාදීන්ගේ පරමාදර්ශී ලෝක කොමියුනිස්ට් සමාජය බිහි වන්නේ ද මෙසේ දේශපාලන ප්‍රජාවන් පුළුල් වීමෙනි. ඔවුන් මූලධාර්මිකව ජාතිවාදයට විරුද්ධ වන්නේ ඒ නිසා ය. එහෙත්, දේශපාලන ප්‍රජාවන් පුළුල් කර ගන්නට අප සමාජවාදී විප්ලවය සිදු වන තෙක් බලා සිටිය යුතු නැත. මාක්ස්වාදීන් ජාතිවාදයේ වෙළෙමින් එසේ බලා සිටියදී පවා ඉතිහාසය ඉදිරියට යන්නේ ය. 

ඉතිහාසය හැම විට ම සාමකාමී වී නැත. ඇතැම් අවස්ථාවලදී එය ප්‍රචණ්ඩ වී තිබේ. උදාහරණයක් ලෙස අවසන් ඊලාම් යුද්ධය සලකන්න. කොටි සංවිධානය හා රජය සාම සාකච්ඡා වෙනුවට යුද්ධය තෝරා ගත් හ. කෙතරම් නරක දෙයක් වුවත්, ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳ මෑත ඉතිහාසයේ වැදගත් ම සුසමාදර්ශීය වෙනස ඇති වුණේ එකී ප්‍රචණ්ඩ ක්‍රියාවලිය නිසා ය. ඉතිහාසයෙන් මෙවැනි නිදසුන් ඕනෑ තරම් සොයා ගත හැකි ය. 

මා කියන්නේ සරළ දෙයකි. අප ලෝකය සමග සම්බන්ධ විය යුතු ය. ඒ සඳහා මුලින් ම ඉන්දියාව සමග සම්බන්ධ විය යුතු ය. (ලංකාවේ ජාතික සංහිඳියාව ද මෙතැනදී අදාළ ය) සාකච්ඡා කළ යුතුව තිබෙන්නේ එම ප්‍රතිව්‍යූහගත වීම ප්‍රචණ්ඩ නො වන ආකාරයෙන් හා අවම හානි සිදු වන ආකාරයෙන් කර ගැනීම පිළිබඳව ය. දෙපැත්තෙහි ම ඇතැම් කොටස් මෙමගින් තාවකාලික පීඩාවන්ට ලක් වෙති. එහෙත්, ලංකාවේ ජනතාව ඉතිහාසයක් පුරා සිය ආර්ථික ප්‍ර‍ත්‍යාස්ථිතිය පෙන්වා තිබේ. ඔවුන් කාලයත් සමග පහසුවෙන් නව තත්වයන්ට හැඩගැසෙති. 

නිදසුනක් ලෙස කණ්ඩලම හෝටලය ඉදි කරන්නට යද්දී එයට එරෙහිව වාමාංශිකයන්ගේ හා සිවිල් සමාජයේ මූලිකත්වයෙන් දැවැන්ත අරගලයක් සිදු විය. එහෙත්, දැන් එදා විරෝධය පළ කළ වාමාංශිකයෝත් දැන් නව තත්වයට හැඩගැසී ඇත.

ලොකු රටක් නිසා අප ඉන්දියාවට බිය විය යුතු නැත.

ඉන්දියාවේ ජාතිවාදී ප්‍රවණතා මෙල්ල කර ගැනීමේ දේශපාලන ප්‍රගතිශීලිත්වය ගොඩනගා ගත යුත්තේ අප විසිනි. අප බොහෝ කාරණාවලදී ඉන්දියාවට ඉදිරියෙන් සිටින බව අප අමතක නො කළ යුතු ය. 


Ajith Parakum Jayasinghe
-http://www.w3lanka.com/

Share on Google Plus