තාජුඩීන්ගේ C.C.TV පට තවම අධිකරණයේ.


රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළ සී.සී.ටී.වී. (CCTV) කැමරා දර්ශන ඇතළත් වීඩියෝ පට විදේශීය රටකට යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා රහස් පොලිසියට නියෝග කර මාසයකට අධික කාලයක් ගත වුවත් එම වීඩියෝ පට තවමත් අධිකරණය භාරයේ තිබෙන බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරුණු ඊයේ (15) අනාවරණය විය.

ඉකුත් ජනවාරි 7 වන දින අතිරේක මහේස්ත්‍රාත්වරයා කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය මඟින් අදාළ වීඩියෝ පට සම්බන්ධයෙන් දත්ත විශ්ලේෂණ වාර්තාව ඉදිරිපත් කරමින් තිබූ නිර්දේශයන්ට අනුව රහස් පොලිසිය වෙත මෙම වීඩියෝ පට විදේශීය විද්‍යාත්මක රසායනාගාර වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට නියෝග කර තිබිණ.

2012/5/17 වන දින සිදු වූ මොහොමඩ් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව රහස් පොලිසිය සිදු කළ විශේෂ විමර්ශනයේදී ලබාගත් සී.සී.ටී.වී. කැමරා දර්ශන ඇතුළත් වීඩියෝ පට කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය වෙත යොමු කර තිබූ අතරඊට අදාළ වාර්තාව 2016/01/04 දින කොළඹ විශ්වවිද්‍යාලය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය මඟින් වීඩියෝ පට වැඩිදුර විමර්ශනය සඳහා අමෙරිකාවේ FBI හා කැනඩා මෙට්‍රොපොලිටන් ආයතන වෙත යොමු කරන ලෙසට නිර්දේශ කර තිබිණ. ඒ අනුව ඉකුත් 7 වන දින අධිකරණය රහස් පොලිසියට නියම කරමින් විශ්වවිද්‍යාලයේ නිර්දේශිත ආයතන හෝ ඊට වඩා හොඳයැයි සිතන ආයතනයක් වෙත සී.ඩී. තැටි යොමු කර වාර්තාවක් ලබාගන්නා ලෙසට නියෝග කර තිබිණ. එහෙත් එම සී.ඩී. තැටි නඩු භාණ්ඩ රහස් පොලිසිය මේ වන තෙක් ලබා නොගැනීම හේතුවෙන් ඒවා අධිකරණ සේප්පුවේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත.

මෙම සී.ඩී. පටවල දර්ශන රාත්‍රී කාලයේදී වීමත් වීදිපහන් ආලෝකය හා වාහනවලින් කෙළින්ම පතිත වන අධික ආලෝක ධාරාව නිසා දර්ශන අපැහැදිලි බවට කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨාධිපති අත්තනායක මහතා සිය වාර්තාවේ දක්වා තිබිණ.

Share on Google Plus