අලුත් පක්ෂයේ නායකකමට ගෝඨා - බැසිල් සීතල යුද්ධයක්.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එදිරිව බිහිකිරීමට නියමිත රාජපක්ෂවරුන්ගේ නව පක්ෂයේ නායකත්වය සඳහා බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තරගයක් ඇතිව තිබෙන බව ඒකාබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසයි.

මේ වන විටත් මේ දෙදෙනාම තමන්ගේ දේශපාලන කටයුතු වෙනුවෙන් උපදෙස් ලබා ගැනීමට වෙන වෙනම බුද්ධි මණ්ඩල දෙකක් ද නඩත්තු කරමින් සිටිති. නව පක්ෂයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් අතර එකඟතාවක් ද නොමැති අතර ඇතැම් කණ්ඩායම් මේ සම්බන්ධයෙන් වන කිසිදු කරුණක් ගැන දැනුවත්භාවයකින් තොර බවත් එම ආරංචි මාර්ග පවසයි. එමෙන්ම බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ විසින් නව පක්ෂයේ නායකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් අප‍්‍රසිද්ධියේ ගෙන යන ව්‍යපාරය නිසා ඒකාබද්ධ විපක්ෂයෙන් මන්ත‍්‍රීවරු මෙන්ම ඊට සහය පළ කරමින් සිටින ප‍්‍රදේශීය දේශපාලකයන් අතර ද මේ වන විට බෙදීම් හට ගෙන ඇත.

කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙය වීමෙන් නව පක්ෂයේ ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලක් බත්තරමුල්ලේ දී පසුගිය 12 වන දින විවෘත වූ නමුත් එම අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි නොවුණේ පවතින අභ්‍යන්තර බල අරගලය හේතුවෙනි. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරන පිරිසේ තර්කය වී ඇත්තේ ශ‍්‍රීලනිපයේ පහළ බිම් මට්ටමේ සාමාජිකයන්ට අවශ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවය. මේ වන විටත් එම පිරිස් සංවිධානය කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කණ්ඩායම විසින් ආරම්භ කර ඇත.

නව පක්ෂයක් ගොඩනැගීම සම්බන්ධයෙන් මූලික කටයුතු සිදු කළේ බැසිල් රාජපක්ෂ මහතා වන නමුත් එම පක්ෂයේ නායකත්වයට ඔහු පත් වීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨයන්ගෙන් මෙන්ම අනෙක් පක්ෂ නායකයන්ගෙන් ද විරෝධයක් එල්ල වීම නිසා මහින්ද රාජපක්ෂ මහතා විසින් බැසිල් රාජපක්ෂ මහතා නව පක්ෂයේ සම්බන්ධීකාරකවරයා ලෙස නම් කරනු ලැබීය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට නව පක්ෂයේ නායකත්වය ලබා දිය යුතු බවට ගෙන යන ව්‍යාපාරයට ජාතිවාදී කණ්ඩායම් හි සහාය ලැබී තිබෙන නමුත් වාසුදේව නානායක්කාර මහතා ඇතුළු වාමාංශික අදහස් දරන පිරිස ඊට දැඩිව විරුද්ධ වී ඇත. පසුගිය මැතිවරණය පරාජය වූයේ සිංහල ජාතිවාදය වැලඳ ගැනීම නිසා බවත් තවදුරටත් එලෙස කටයුතු කර ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාවක් නැති බව ඔවුන් පෙන්වා දී ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාට තබා කිසිදු රාජපක්ෂවරයකුට දෙමළ මුස්ලිම් ජනයාව කිසිසේත්ම ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් නැති බවත් එම නිසා තවදුරටත් ජාතිවාදය වැපිරීම අත්හල යුතු බවත් ඔවුන්ගේ යෝජනාව වී ඇත.

කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බහුතරයකගේ අදහස නව පක්ෂයක් බිහි කිරීම මේ මොහොතේ නොකළ යුතු බවය. මේ වන විට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරු 52ක් පාර්ලිමේන්තුවේ සිටිය ද සත්‍ය වශයෙන්ම වෙනම පක්ෂයක් බිහිකිරීම හෝ පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගැනීම සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය හැකි මන්ත‍්‍රීවරුන් සිටින්නේ 30ක් පමණ වන ප‍්‍රමාණයක් බව ද එම නියොජිතයන් මහින්ද රාජපක්ෂ මහතාට පෙන්වා දී තිබේ. කෙසේ නමුත් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ මේ මොහොතේ කොල්ලයි බල්ලයි සේරම එකතු කර ගෙන කෙසේ හෝ ආණ්ඩුවක් පිහිටුවාගත යුතු බවත් ඊට නායකත්වය දෙන්නේ බැසිල් ද ගෝඨා ද යන්න ගැන විවාදයක් අවශ්‍ය නැති බවය.


Share on Google Plus