ආණ්ඩුවෙන් මිලියන 3,012ක අපරාධයක්.


වාරිමාර්ග අමාත්‍යාංශ්‍ය මඟින් කි‍්‍රයාත්මක කිරීමට යෝජිතව තිබූ නිල්වලා සහ ගිං ගංගා හැරවීමේ ව්‍යාපෘතිය සඳහා ‘සීමාසහිත චයිනා CAMC ඉංජිනේරු සමාගම (China C.A.M.A. Engineering Company Limited) වෙත රුපියල් මිලියන 40ක් වෙනුවට රුපියල් මිලියන 3,012ක් අත්තිකාරම් ලෙස ලබා දී බරපතල ලෙස මූල්‍ය අපරාධයක් කර තිබෙන බව අනාවරණය වේ.

මෙම අත්තිකාරම් මුදල ගෙවා ඇත්තේ, දින සියයේ හවුල් ආණ්ඩුව යටතේ 2015 ජනවාරි මස 31 වැනි දින ය.

මේ අනුව නියමිත සීමාව ඉක්මවා රුපියල් මිලියන 2,972ක් වූ අති විශාල මූල්‍ය අපරාධයක් කර තිබේ.

අල්ලස් හෝ වංචා, දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඇතුළු වගකිව යුතු ආයතනවලට මේ පිළිබඳව පැමිණිලි කරන බව ‘දූෂණ විරෝධී හඬ’ සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්තී‍්‍ර, වසන්ත සමරසිංහ මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී  පැවසී ය.

නිල්වලා සහ ගිං යන ගංගා දෙක හැරවීමේ ව්‍යාපෘතියට අදාළ කොන්ත‍්‍රාත් ගෙන තිබෙන චීන සමාගම විසින් ව්‍යාපෘතියට අදාළ කිසිවක් මේ දක්වා කි‍්‍රයාත්මක කර නැති බවද එම පසුබිම යටතේ අදාළ අත්තිකාරම් මුදල යළි අමාත්‍යාංශයට අය කර ගැනීමේ හැකියාව ඇතත් මේ දක්වා ආණ්ඩුව එය සිදු කර නැති බවද සමරසිංහ මහතා පැවසීය.

මේ නිසා රුපියල් මිලියන 3,012ක මුදලක් රජයට අහිමි කර ඇත.
වාරිමාර්ග අමාත්‍යාංශය මෙම මුදල වවුචර් දෙකක් යටතේ චීන සමාගමට ගෙවා ඇත.

ඇමරිකානු ඩොලර් 74,86,000 (රුපියල් 100,31,36,335.71)ක් සහ ඇමෙරිකානු ඩොලර් 1,49,95,000 (රුපියල් 200,93,42,335.71)ක් වශයෙන් ය. 

විගණන විමසුම අනුව හෙළි වී තිබෙන බරපතලම කරුණ වන්නේ 2015 වර්ෂය සඳහා සීමාසහිත චයිනා CAMC ඉංජිනේරු සමාගමට රුපියල් මිලියන 40ක් පමණක් ගෙවීමට තිබිය දී රුපියල් මිලියන 3,012ක් ගෙවා තිබීමයි.

ලංකා ඉරිදා සංග්‍රහය

Share on Google Plus