ලොව මහා පරිමාණ වෙළද සමාගම් ප්‍රධානීන්, අගමැති හමුවේ - බිල් ගේට්සුත් ඒ අතර.


ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගි වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ලෝකයේ මහා පරිමාණ වෙළඳ සමාගම් රැසක ප්‍රධානීන් අතර හමුවක් අද පැවැත්වුණා. 

ශ්‍රී ලංකාව තුළ මේ වසරේදී මහා පරිමාණ ආයෝජන සඳහා හැකි ඉක්මනින් අවතීර්ණවීමට එහිදී අදාළ සමාගම්වල ප්‍රධානීන් කැමැත්ත පළ කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.  

46 වන ලෝක ආර්ථික සමුළුව ස්විට්සර්ලන්තයේ - ඩාවෝස් නුවර දී අද ආරම්භ වුණේ ලෝක නායකයින් රැසක් ඇතුළු ආර්ථික විශේෂඥයින් 2000කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන්. 

විශේෂ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊට සහභාගි වී සිටින අතර, මෙරට නායකයෙකු ලෝක ආර්ථික සමුළුවට එක්වූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්. 

අග්‍රාමාත්‍යවරයා අද හමුවූ ලෝක ප්‍රකට වෙළඳ සමාගම් ප්‍රධානීන් අතර, ටාටා සමාගමේ ප්‍රධානී සයිරස් මිස්ටි‍්‍ර, නෙදර්ලන්තයේ පිලිප් ලයිටින් සොලූෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙන්ම බහරේන් පෙට්ට්‍රෝලියම් සමාගමේ සභාපතිවරයා ද සිටිනවා. 

සමුළුව අතරතුර දී ස්වීඩන් අග්‍රාමාත්‍ය ස්ටෙෆන් ලෝෆ්වන් සහ තුර්කි අග්‍රාමාත්‍ය අහමට් දාවොදොග්ලූ සමඟ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ලැබුවා.

මේ අතර, ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 10.30 ට ලෝක ආර්ථික සමුළුවට සමගාමීව පැවැත්වෙන මාධ්‍ය හමුවකට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්වීමට නියමිතයි. 

එහිදී අග්‍රාමාත්‍යවරයා සිව්වන කාර්මික විප්ලවය පිළිබඳව ඔහුගේ දැක්ම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් පළ කරනු ඇති. 

එසේම අග්‍රාමාත්‍යවරයා හෙට දිනයේදී ලෝකප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපතිවරයා ද හමුවීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. 


Share on Google Plus