වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩුවක් වෙයි.


වෙසෙක් පුන් පොහොය යෙදෙන දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. 

සුගියදා රැස්වූ සාමාජිකයන් 193 දෙනෙකුගෙන් සමන්විත එම සංවිධානයේ මහා මණ්ඩලය විසින් වෙසක් පොහොය දිනය නිවාඩු දිනයක් ලෙස මෙසේ ඒකමතිකව පිළිගෙන තිබේ. ඒ අනුව මේ වසරේ මැයි මස 21 වැනිදා ජාත්‍යන්තර නිවාඩු දිනයක් වෙයි. 

මීට අමතරව ඕතඩොක්ස් ක්‍රිස්තියානි ආගමේ එන මහ සිකුරාදා දිනය, ඊශ්‍රායල යුදෙව්වන්ගේ යොම් කිප්පුර් දිනය සහ ඉන්දියානු  හින්දුන්ගේ දිවාලි නිවාඩු දිනය ඇතුළුව තවත් නිවාඩු දින 07ක් මෙලෙස තාවකාලික නිවාඩු වශයෙන් පිළිගැනීමට ලක්ව ඇත. 

1999 වසරේදී එවකට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ මැදිහත්වීම අනුව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළ වෙසක් පොසොන් දිනය ජාත්‍යන්තර දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එහෙත් එම දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස නම් කළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව ප්‍රතික්ෂේප විය. එවැනි දිනයක් හරහා ලෝකයට තවත් අමතර වියදමක් එකතු වන බවට කරුණු ඉදිරිපත්වීම ඊට හේතුව විය.

කෙසේ වෙතත් 2014 වසරේදී ඊශ්‍රායලය සිය යොම් කිප්පුර් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කළ  යුතු බවට එක්සත් ජාතීන් වෙත බලපෑම් එල්ල කළ අතර, එම යෝජනාව එක්සත් ජාතීන්ගේ පරිපාලන සහ අයවැය කමිටුව මගින්ද අනුමත කර තිබේ. ඒ අනුව, එවකට එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා මෙහෙයුමේ හිටපු දෙවැනි ලේකම්වරිය මෙන්ම අයවැය කමිටුවේ උප සභාපතිනිය වූ චමිත්‍රි රඹුක්වැල්ල ඇතුළු නියෝජිතයන් වෙසක් නිවාඩුව සම්බන්ධ යෝජනාව යළි එම කමිටුවට යළි දන්වා තිබේ. 

විශේෂයෙන්ම මිලියන 14ක් පමණක් වන යුදෙව්වන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා යොම් කිප්පුර් සැමරුම් දිනයක් ලබාගත හැකි නම්, මිලියන 530 ක් වන බෞද්ධාගමිකයන් වෙනුවෙන් එය ලබාගත නොහැක්කේ මන්ද යන්න ඔවුන්ගේ අදහස විය. එහිදී තායිලන්තය, වියට්නාමය, මොන්ගෝලියාව, මැලේසියාව සහ සිංගප්පූරුවද ඒ සඳහා සිය සහයෝගය දක්වා තිබුණි. ඒ අනුව, ඉන්දියාවද සිය දීවාලි සහ දීපාවලි උත්සව වෙනුවෙන්ද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජාත්‍යන්තර නිවාඩු දින බලාපොරොත්තු වූ බව පැවසේ.

Share on Google Plus