රාජපක්ෂලා නොසලකා හැරි ශාසනික මෙහෙය කුමන ආණ්ඩුවක් හෝ ඉටු කළ යුතුයි.


ථෙරවාදි භික්ෂු කතිකාවතට නෛතික බලය ලබා දීම ගැන පහුගිය ආණ්ඩුවට දීර්ඝ කාලයක් තිස්සේ කරුණු ඉදිරිපත් කළත් දේශපාලකින අරමුණු නිසා ඊට මූලික තැන නොලැබුණු බවත්, වර්තමාන පාලකයන් ඉටු කරන්නේ පෙර පාලකයන් නොසලකා හැරි ඒ ශාසනික මෙහෙය බවත් මල්වතු පාර්ශවයේ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියෝ කියති.

උන්වහන්සේ බුද්ධ ශාසන ඇමතිවරයාට ලිපියක් යොමු කරමින් මේ බව වසා ඇත.

ලංකා ඉතිහාසය දෙස බලනවිට රජදරුවන් වරින් වර ධර්මධර විනයධර මහතෙරුන්ගේ මූලිකත්වයෙන් කතිකාවතක් ඇති කොට භික්ෂූ ශාසනය ශෝධනය කළ බව මැනවින් පෙනී යන බවද මහනාහිමියෝ සඳහන් කරති.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ...

"මෙකල පවත්නා ශාසනික තත්ත්වයන් පිළිබඳව හා ඇතැම් භික්ෂූන්ගේ ශාසකින විරෝධී ක්‍රියාකාරකම් පිළිඳව කිසියම් පියවරක් නොගන්නේ මන්දැයි යන ප්‍රශ්නය ගිහි පැවිදි බොහෝ දෙනා අප වෙත චෝදනා මුඛයෙන් නිතර එල්ල කරනු ලබන විවේචන හමුවේ තවදුරටත් නිහඬව සිටීම අපේ වගකීමක් නොවන බව පෙනී යාම නිසා වර්තමාන රජයේ වගකිවයුත්තන්ගෙන්ද මෙකී කතිකාවත් සඳහා නෛතික බලය ලබා දීමට පියවර ගන්නා ලෙස දන්වා සිටීමට සිදු විය.

පොළොන්නරු මහා පරාක්‍රමබාහු කතිකාවත, නිශ්සංකමල්ල කතිකාවත, දඹදෙණි කතිකාවත, හයවන පරාක්‍රමබාහු කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත, රාජාධිරාජසිංහ කතිකාවත යනාදී කතිකාවත් තුළින් භික්ෂු ශාසනයේ චිරස්ථිතිය හා පාරිශුද්ධිය අපේක්ෂා කළ රජ දරුවෝ කතිකාවත් සම්පාදනයට මෙන්ම ඒවායින් ඇති කර ගන්නා ලද සම්මත ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක කර වීමට අදාල වන රාජ බලය ලබා දී සසුන පිරිසිදු කළ අයුරු මනාව පැහැදිළි වන්නේය. අපේ රජදරුවන් එකී කතිකාවත් තුළින් අපේක්ෂා කළේ සම්බුද්ධ ශාසනය ප්‍රතිෂ්ඨාපනයයි.

භික්ෂු ශාසනයේ චිරස්ථිතිය හා පාරිශුද්ධිය අපේක්ෂාවෙන් පසු කලෙක ශාසනාභිවෘද්ධිවර්ධන කතිකාවත, පරම ධම්ම කතිකාවත, මල්වතු මහා විහාර පාර්ශවීය අභිනව කතිකාවත, ශාසනාරක්ෂක කතිකාවත, අමරපුර හා රාමඤ්ඤ නිකායික කතිකාවත් යනාදී වශයෙන් ඒ ඒ පාර්ශ්ව හා නිකායික කතිකාවත් ඇති කර ගත් නමුත් ඒවාට නෛතික බලයක් නොමැති වූනේ අපේක්ෂා කළ අරමුණු සාධනය කර ගැනීම දුෂ්කර විය.

එනයින් බලන විට ධර්මධර විනයධර මහ තෙරුන්ගේ සම්මුතියෙන් ඇතිකරගන්නා ලද ශාසනික කතිකාවත්වලට රාජ බලය හෙවත් නෛතික බලය ලබා ගැනීම වර්තමාන රජය යටතේ පමණක් ඇති වූවක් නොවන බව පැහැදිළිය." යනුවෙන් මහා නායක හිමියෝ වැඩිදුරටත් සඳහන් කර සිටිති.

Share on Google Plus