රණතුංග සහෝදර සමාගම, රාජපක්ෂ පන්නයේ මෙහෙයුමක.


ක්‍රිකට් නිලවරණයේදී තම සොයුරු නිශාන්ත රණතුංග මහතාට පක්ෂව ඡන්දය ප්‍රකාශ නොකිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදනය අංශයේ ප්‍රධානී නලින් අපොන්සු මහතා සමග උරණ වී සිටින වරාය විෂය භාර ඇමති අර්ජුන රණතුංග හා එම අධිකාරියේ සභාපති ධම්මික රණතුංග සොයුරන් දෙදෙනා අපොන්සු මහතා ලවාම, ඔහුව හැල්ලු වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරවමින් ඔහුට ඉල්ලා අස්වන තැනට බලපෑම් කරමින් සිටින බව වරාය අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා කොට්ඨාගේ ප්‍රධානි නලින් අපොන්සු මහතා, පසුගිය 03 දා පැවති ක්‍රිකට් නිලවරණයේදී නිශාන්ත රණතුංග මහතාට පක්ෂව ඡන්දය නොදීම ගැන කෝපයට පත් රණතුංග සොයුරන් ඔහුගේ කාර්යාලයට සීල් තබා ඔහුට එරෙහිව ආයතනික විමර්ශනයක් ආරම්භකර ඇති බව මාධ්‍ය හරහා ප්‍රකාශවීමත් සමග තම මෙහෙයුම තාවකාලිකව හකුලා ගත් රණතුංග සහෝදර සමාගම, එවැන්නක් සිදුනොවූ බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නයි අපොන්සු මහතා බලපෑම් කර ඇති බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

'සීල්' කතාව 'සීල්' කරයි :

කෙසේවුවද අද මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජවිපෙට අනුබද්ධ පොදු සේවක සංගමය, වරාය අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් මාධ්‍ය කාර්යාලයට සීල් තබා ඇති බව ප්‍රකාශ කර සිටියේය.

වරාය පොදු සේවක සංගමයේ සභාපති චන්ද්‍රසිරි මහගමගේ මහතා පැවසුයේ, මුදල් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට පවසා මාධ්‍ය කාර්යාලයට සීල් තබා ඇති බවයි.

කෙසේ වෙතත් ඊට හේතුව වෙනත් කාරණයක් බව ඔහු පෙන්වා දුන්නේය.

ජනසතුසේවා ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන මාධ්‍ය ඒකකයේ ප්‍රධානියාට අර්ජුන රණතුංග අමාත්‍යවරයාගෙන් බලපෑමක් එල්ල වී ඇති බවට සැකයක්‌ පවතින බව චන්ද්‍රසිරි මහගමගේ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ දී ඇති වූ සිද්ධියක් ඊට හේතුවී ඇති බවට ද පොදු සේවක සංගමයේ සභාපති චන්ද්‍රසිරි මහගමගේ මහතා අවධාරණය කර සිටියේය.

'අර්ජුනට වරායේ ක්‍රිකට් ගහන්න බෑ'

ක්‍රිකට් සම්බන්ධ ආරවුල් වරාය අධිකාරියෙන් පිටතදී විසඳා ගන්නා ලෙස චන්ද්‍රසිරි මහගමගේ මහතා, අර්ජුන රණතුංග අමාත්‍යවරයාට දැඩි ලෙස අවධාරණය කර සිටියේය.

වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශ කාර්යාලය සීල් තැබීමට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත්, වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට වරායේ ක්‍රිකට් ගැසීමට ඉඩ නොදෙන බවත් පොදු සේවක සංගමය පවසයි.

වරායේ මෙහෙයුම් ධාරිතාව ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති අවස්ථාවක ඊට පිළියම් නොගෙන ක්‍රිකට් ප්‍රශ්නයක් ඉදිරියට දමා කටයුතු කිරීමට සංගමය විරුද්ධ බවද චන්ද්‍රසිරි මහගමගේ මහතා පැවසිය.

නරුම ක්‍රියාවක් :

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදනය අංශයේ ප්‍රධාන කාර්යාලයට සීල් තබා ඇති බව මේවනවිට රට පුරා ප්‍රසිද්ධව තිබුනද, එම මාධ්‍ය කළ ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව දැනුම් දෙමින් මාධ්‍ය නිවේදනය නිකුත් කරන්නයි වරාය සභාපතිවරයා අපොන්සු මහතාට දැනුම් දීම රාජපක්ෂ පන්නයේ නරුම ක්‍රියාවක් බව තම අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි වරාය වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

රාජපක්ෂ පාලන සමයේද මෙවැනි නින්දිත සිදුවීම් අනන්තවත් සිදුවූ බව අප වෙත පැවසු ඔවුන්, යහපාලනය තුල රණතුංග සහෝදර සමාගමේ මෙවැනි ක්‍රියා තරයේ හෙලා දැකිය යුතු බවද කියා සිටියේය.

-SLM

Share on Google Plus