ජනපති - අගමැති මුහුණට මුහුණ සාකච්ඡාවක්.


යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීමට මුල් වූ සිවිල් සංවිධානත් රාජිත සේනාරත්න සහ අර්ජුන රණතුංග යන අමාත්‍යවරුනුත් ඒකාබද්ධ වී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ ලබන සතියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ආණ්ඩුවේ ඉදිරි ගමනට විශාල වශයෙන් බලපෑමක් එල්ල විය හැකි අතිශය තීරණාත්මක සාකච්ඡාවක් වන මෙහිදී මහින්ද රාජපක්‍ෂ පාලන සමයේදී සිදුවූවා යැයි කියන බරපතළ දූෂණ සහ වංචා එකින් එක පෙන්වා දෙමින් ඒවාට අවශ්‍ය නීතිමය පියවර නොගැනීම පිළිබඳ කරුණු දැක්වීමට ද නියමිතය.

මේ අතර යහපාලන ආණ්ඩුව පිහිටුවා වසරක් ගතවී තිබුණද අපරාධකරුවන්ට දඬුවම් දීම, හොරුන්, දූෂිතයන්, වංචාකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම ඇතුළු ජනතාවට ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටු නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් විරෝධය පළ කිරීමට මෙන්ම එළැඹෙන නිදහස් දිනට පෙර අපරාධකරුවන්ට, වංචනිකයන්ට දූෂිතයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා කිරීමට සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු සූදානම් වෙති.

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පසුගිය සතියේදී මේ පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය එක්සත් ජාතික පක්‍ෂයට හිමිවී තිබෙන නිසා අදාළ වාර්තා මෙතෙක් තමාට ලැබී නැති බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තය බලා පිටත්ව යෑමට පෙර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී සේනාරත්න අමාත්‍යවරයා පවසා තිබුණේ අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිවරයාත් සිවිල් සංවිධාන ක්‍රියාකාරින් ඉදිරියේ මේ පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු බවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට සිය එකඟතාව පළ කර ඇත. එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයාට සහ ජනාධිපතිවරයාට ලබාදීමට ලිපියක් සිවිල් සංවිධාන ක්‍රියාකාරින් විසින් සකස් කොට ඇති අතර ඊට වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් රැසක්ද අස්සන් කොට ඇතැයි වාර්තා වෙයි. මේ අතර පසුගිය රජය සමයේ සිදුව ඇති දූෂණ හා වංචාවලට සම්බන්ධ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් තමා මේ ඇමැති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබිණි. 

Share on Google Plus