ඒකාබද්ධ විපක්ෂය නායකත්ව අර්බුදයක.


ඉදිරි පළාත් පාලන ඡන්දයේදී ගම් මට්ටමේ විසිරී සිටින පාක්ෂිකයන්ට නායකත්වය ලබාදීම සඳහා මහින්දවාදී පිල තීරණය කිරීමත් සමග ශ‍්‍රීලනිපය දෙකට කැඞීමක් යළිත් සිදුවීමට නියමිත අතර ඇති කරන නව දේශපාලන පෙරමුණේ නායකත්වය මහින්ද, බැසිල්, ගෝඨාභය යන රාජපක්ෂවරුන්ගෙන් කාහට හිමිවිය යුතු බවද යන අර්බුදයක්ද ඒ සමගම මතුවී තිබේ.

මෙම නව දේශපාලන පෙරමුණ වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන ශ‍්‍රීලනිපයේ පිරිස් එකී නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමිවිය යුතු බවට අරගලයක නිරත වී සිටින අතර ශ‍්‍රීලනිපයේ නොවන පිරිසක් එම නායකත්වය ගෝඨාභය රාජපක්ෂට හිමිවිය යුතු බවට අරගල කරමින් සිටී.

ඒ සඳහා හේතු වශයෙන් උදය ගම්මන්පිල, විමල් වීරවංශ වැනි අය දක්වා ඇත්තේ තවත් වසර හතරකින් ජාතික නායකත්වය සඳහා සුදුසු නායකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂව ගොඩනැගිය යුතු බවයි.

ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින එකී සන්ධානයේ පක්ෂ නායකයකු අප සමග පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා නැවත මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට නොහැකි තත්ත්වයක පසුවන බවත් ඊළඟ මැතිවරණය වන විට මහින්ද රාජපක්ෂ වියපත්ව සිටිනු ඇති බවත්ය.

ජනතාව තුළ බලාපොරොත්තු ඇති කළ හැකි නැවුම් දේශපාලන නායකයකු ඉදිරිපත් කළ යුතු බවත් ඒ සඳහා බැසිල් රාජපක්ෂට වඩා ගෝඨාභය රාජපක්ෂ වඩාත් සුදුසු බවත් ඔහු කීවේය.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතාද එම නව දේශපාලන පෙරමුණේ් නායකයා තමා බවට ශ‍්‍රීලනිපයේ ප‍්‍රාදේශීය නායකයා අමතමින් ප‍්‍රකාශ කරමින් තිබෙන බව වාර්තා වේ.


අප වෙත අදහස් දක්වමින් ශ‍්‍රීලනිප මහින්ද කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා හැර වෙනත් නායකයන් නොමැති බවත් ජනතාව ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ බවත්ය.

මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන බව මාධ්‍ය වාර්තා පළවන බවත් මීට පෙර මහ මැතිවරණයේදීද එසේ සාකච්ඡාවලට ගොස් මහින්ද රාජපක්ෂ මහතාව බොහෝ දෙනකු රැවැට්ටූ බවද ඔහු කීය.

ගම්වල සිටින ශ‍්‍රී ලංකා පාක්ෂිකයන් ශ‍්‍රීලනිපයට ඡන්දය නොදෙන බව මේ වනවිට පවසන බවත් එවන් පසුබිමක නියම ශ‍්‍රීලනිපය නියෝජනය කරන තම කණ්ඩායමට විකල්ප තීරණයක් ගැනීමට සිදුවන බවත් ඔහු පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමන් විකල්ප පෙරමුණක නායකත්වය සඳහා සූදානම් බව ප‍්‍රකාශ කොට තිබුණි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන බවටත්, හිටපු ජනාධිපතිවරයා යටතේ මැතිවරණයට තරග කරන බවටත් දිස්ත‍්‍රික්ක කිහිපයක ශ‍්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන් පසුගිය දිනවල පුවත්පත් සාකච්ඡා පවත්වමින් ප‍්‍රකාශ කරනු ලැබූ අතර ඒ සියල්ල මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම සහිතව සිදුවන බව දැනගන්නට ඇත.

එසේම ශ‍්‍රීලනිපයට බලය හිමි පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ නොකර ඒවා කොමසාරිස්වරුන් යටතට පත්කිරීමද මහින්ද රාජපක්ෂ මහතා සිය වාසිය සඳහා යොදාගෙන ඇති බව වාර්තා වේ.


Share on Google Plus