රනිල්ගේ තීන්දුවෙන් දයාසිරි අර්බුදයක.


ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු ඇතුළු සියලු කරුණු අධීක්ෂණය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදී තිබූ උපදෙස් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කර තිබීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට ආණ්ඩුව ඇතුළේ විශාල කතාබහක් ආරම්භ වී ඇති බවක් දැනගන්නට තිබේ.

පක්ෂ දෙකේ නායකයන් විසින් ගනු ලබන තීන්දු තීරණ ප්‍රතිපක්ෂ විසින් විවේචනය නොකරනු ලැබීමේ ප්‍රතිපත්තියක් පසුගිය කාලය පුරාම ආණ්ඩුව ඇතුළේ පවත්වාගෙන යෑම මීට හේතු වී තිබේ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීන්දු තීරණ කුමක් වුවද ඒවා විවේචනය නොකිරීමට එජාප මැති ඇමැතිවරුන් කටයුතු කර තිබිණි.

එහෙත් එම ප්‍රතිපත්ති අභිභවා යමින් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අගමැතිවරයා විසින් ගනු ලැබූ තීන්දුවක් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව වහාම කටයුතු කළ යුතු බවත් හෙතෙම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කොට ඇති බවත් ආණ්ඩුවේ බහුතරයකගේ මතය වී තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා දින එජාපයේ ජේ‍යෂ්ඨ ඇමැතිවරුන් කණ්ඩායමක් අගමැතිවරයා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී අගමැතිවරයා ඔවුන්ට දැනුම් දී ඇත්තේ ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව වන බවත් එය විනාශ කිරීමට මුදලාලි පැලැන්තියට හෝ ක්‍රිකට් මාෆියාවට තමන් කිසිසේත්ම ඉඩ නොතබන බවත්ය.

එම නිසා ඉදිරි දින කිහිපයේදී ඒ සම්බන්ධයෙන් ගත යුතු අවසන් තීන්දුව තමන් ගන්නා බවත් අගමැතිවරයා එහිදී එජාප ඇමැතිවරුන්ට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් අගමැතිවරයා හා ක්‍රීඩා අමාත්‍යවරයා අතර ඇති මේ අර්බුදය දුරදිග ගියහොත් එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගනු ලබන්නේ කුමන පාර්ශ්වයද යන්න සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුව ඇතුළේ දැඩි කතාබහක් මතුව තිබේ. මේ ක්‍රිකට් අර්බුදය මුල් කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයා ජනාධිපතිවරයා, අගමැතිවරයා අතර ගැටුමක් නිර්මාණය කිරීමට දරා ඇති උත්සාහයක් පිළිබඳවද මේ වන විට ආණ්ඩුවේ ඉහළ තැන්වලට තොරතුරු ලැබී ඇති බවද දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් ක්‍රිකට් ඉතිහාසය පුරාම ක්‍රීඩා අමාත්‍යවරුන්ට තනි තීන්දු තීරණ ගැනීමේ අවස්ථාවක් හිමිව නොමැති අතර ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ යන පාලන සමයන්හිදී සිටි සෙසු ක්‍රීඩා අමාත්‍යවරුන් තීන්දු ගනු ලැබුවේ එම කාලයන්හි සිටි ජනාධිපතිවරුන්ගේ විධානවලට යටත්වය.


Share on Google Plus