ප්‍රසන්න රණතුංගගේ අත්අකුරු පරීක්ෂා කෙරේ.



පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ අත්අකුරු ඇතුළත් ලේඛනයක් විශ්ලේෂණ වාර්තාවක් සඳහා රජයේ අත්අකුරු පරීක්ෂකවරයාට යොමුකර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇතැයි වාර්තාවේ.

රණතුංග මහතා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රාජකාරි කටයුත්තක් වෙනුවෙන් අල්ලස් ගත්බව කියන සිද්ධියට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ මෙම දැනුම්දීම සිදුකර තිබේ.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රාජකාරි කටයුත්තක් සිදුකර රුපියල් මිලියන හැටහතරක් අල්ලසක් ලෙස ඉල්ලා එයින් රුපියල් මිලියන පහළොවක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංගට චෝදනා එල්ල වී ඇත.

මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ ජෙහාන් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකු විසිනි.

මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකර ඒ අවට සිටි අනවසර පදිංචිකරුවන් ඉවත්කර පළාත් සභාවෙන් සහතිකයක් ලබාදීම වෙනුවෙන් මෙම අල්ලස් මුදල ඉල්ලූ බවට මෙම ව්‍යාපාරිකයා විසින් පැමිණිලිකර තිබේ.

නඩුවේ දෙවන සැකකාරිය වන ප්‍රසන්න රණතුංගගේ බිරිඳ මොරින් රණතුංගට මාර්තු මස නව වනදා දක්වා විදේශගතවීමට අධිකරණය අවසර ලබාදුන් අතර නඩුව විභාගයට ගැනීම මාර්තු නව වනදාට කල් තැබුණි.

Share on Google Plus