ජනපති සහ අගමැතිගෙන් අලුත් අවුරුදු සුබ පැතුම්.


එකමුතු බව සහ එ් තුළින් ශක්තිමත් වන සාමූහිකත්වයේ, සහජීවනයේත් සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම නව වසරේ සියලුදෙනාගේ පොදු අධිෂ්ඨානය වී ඇති බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

නව අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ ජයග‍්‍රහණයේ සමස්ත අස්වැන්න නෙළිය හැක්කේ අප එදා බැඳි විශ්වාසයෙන්, බැඳීමෙන් එක්ව සාමූහිකත්වයෙන් ඉදිරි පියවර ගැනීම තුළින් බවයි.

යහපත් ආකල්ප මෙන්ම අවෛරී චේතනාද, බලය වැළඳ ගැනීම නොව බලය අත් හරිමින් ජනතාව බල ගැන්වීමේ කාර්ය සාධනය සමග අපට ශී‍්‍ර ලාංකේය දේශපාලනයේ චිරාගත හැඩතලය සපුරා වෙනස් කිරීමට හැකි වුණා.

එ් සියල්ල උදා වූ නව වසරේ න්‍යාය පත‍්‍රය හා සමගද බැඳී පවතින බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර ජනාධිපතිවරයා ඊයේ (31) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් නව වසරට ආශිර්වාද ලබා ගත්තා.

පසුව මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ රටේ ජනතාවගේ දුගී භාවය තුරන්කර ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට උදාවූ නව වසරේ කැපවන බවයි. 

රටට අවශ්‍ය දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා ඉදිරි වසරේදී කැපවන බවයි මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී පැවසුවේ.

සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබාගනිමින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා කියා සිටියා.

පසුගිය වසරේදී ජනතාවගේ ජන ජීවිතය ගොඩ නැංවීම පිළිබඳ අඩුපාඩු සිදුවුවද 2016 වසරේ ජනතාව වෙනුවෙන් සහන රැසක් ලබාදීමට රජය සැලසුම් කර තිබෙන බවද ජනාධිපතිවරයා පැවසුවා. 

මේ අතර සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන්නේ එළැඹුණු නව වසරේදී ආර්ථිකමය, සමාජමය සහ දේශපාලනමය වශයෙන් සුරක්ෂිත වූ රටක් ගොඩනැගීම එ්කායන අරමුණ බවයි.

වාර්ගික, ආගමික, පාක්ෂිත භේද පසෙකලා දේශීය දියණුව වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ අවධියක් උදා වී ඇති බවද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මානවගරුත්වය සුරකින, තිරසාර සංවර්ධිත දේශයක් ලෙස රට නැවත ප‍්‍රතිනිර්මාණය කිරීමේ වගකීම නව වසරේ ඇති විශාලතම අභියෝගය බවද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාද නව අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ සෞභාග්‍ය දේශයක් ඇති කළ හැක්කේ ජාතීන්, භාෂා, සංස්කෘතීන්, ආගම් සහ වෙනත් ප‍්‍රජාවන්ට ආවේණික වූ වටිනාකම් අගයන සාමූහිකත්වයෙන් පමණක් බවයි.

අනාගත පරපුර වෙනුවෙන් වඩා යහපත් දේශයක ගොඩනැගීමට සාමූහිකව පෙළගැසෙන ලෙසටයි විපක්ෂ නායකවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර නව වසරට සුප පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ශී‍්‍ර ලාංකිකයින් ලෙස තම තමන්ගේ අනන්‍යතාව රැක ගනිමින් සුහදව ජීවත්වීම සඳහා අප නිර්මාණය කළ පසුබිම තවදුරටත් සුරක්ෂිත කළ යුතු බවයි.

සියල් සපිරි සුපහන් දේශයක් නිර්මාණය කිරීමට අප පෙරට යා යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


Share on Google Plus