අගමැති ලෝක ආර්ථික සමුළුව අමතයි.


ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ස්විට්සර්ලන්තයට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යුරෝපා මත්ස්‍ය තහනම සහ ජීඑස්පී ප්ලස් තහනම ඉවත් කර ගැනීමේ උත්සාහයක යෙදී සිටියි.

ඩාවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට ජගත් නායකයන් ගණනාවක් සහභාගි වෙමින් සිටිති.

මත්ස්‍ය තහනම ඉවත්කරගැනීමේ උත්සාහයට සහාය දෙන බව ස්වීඩනයේ අගමැතිවරයා ප්‍රතිඥා දුන් බවයි, සමුළුව වාර්තාකිරීම පිණිස ඩාවොස් නුවරට ගොස් සිටින ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ දිනිත් චින්තක කරුණාරත්න කියා සිටියේ.

ලෝක ආර්ථික සමුළුවේ ආරාධනයකින් ශ්‍රී ලාංකික නායකයකු ඒ සඳහා සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන දිරිගැන්වීමත් අගමැතිවරයාගේ න්‍යාය පත්‍රයට ඇතුළත්.

සමුළුව ආරම්භ වීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් බදාදා සවස් භාගයේ ජාත්‍යන්තර ආයෝජකයන් අමතනු ලැබීය.

"දෙමළ දේශපාලන පක්ෂ සහ වෙනස් සංවිධාන සමග අපි කටයුතු කරනවා. අලුත් ව්‍යවස්ථාව ගැන, නව මැතිවරණ ක්‍රමය ගැන, රට තුළ බලය බෙදීම ගැන අප දෙමළ පක්ෂ සමග කටයුතු කරනවා. යුද හමුදා පවරා ගත්ත ඉඩම්වලින් කොටසක් අප ආපසු ඒ ජනතාව වෙත පවරා දී තිබෙනවා," එහි පැවති මාධ්‍ය හමුවකට එක් වූ අගමැතිවරයා පැවසීය.

ජීඑස්පී ප්ලස් තහනම ඉවත්කරගැනීම සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යුරෝපා නායකයන් සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා දූත පිරිස බලාපොරොත්තු වන බවද දිනිත් චින්තක කරුණාරත්න සඳහන් කළේය.

රවි කරුණානායක සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරුද අගමැතිවරයා සමඟ ඩාවොස් සමුළුවට සහභාගිවෙති.


- BBC -


Share on Google Plus