සිකුරාදා සිට ජනපතිට කෙලින්ම කතා කරන්න.


රටේ ඕනෑම පුරවැසියකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය පණිවිඩය ඍජුව ඉදිරිපත් කිරිමේ 'ජනපති හදබිම' ජාතික වැඩසටහන මෙම සිකුරාදා(8)දා සිට ආරම්භ කෙරේ.

මේ යටතේ ජනතාව‍‍ගේ දුක්ගැනවිලි සහ දැවෙන ප්‍රශ්න, කෙටි පණිවිඩ, දුරකථන ඇමැතුම්, අන්තර්ජාල පණිවිඩ සහ ලිපි මාර්ග ඔස්සේ ජනාධිපතිවරයා වෙත ඍජුව ඉදිරිපත් කිරිමේ අවස්ථාව උදා‍වෙයි.ජනපති වර්ෂ පූර්ණය නිමිත්තෙන් ආරම්භ කෙරෙන මේ වැඩපිළිවෙළ යටතේ කිසිඳු මැදිහත්කරුවකුගෙන් තොරව රාජ්‍ය නායකයා වෙත ජනතාවට සිය අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වෙයි.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පුරවැසි ඒකක ස්ථාපිත කැර මේ වැඩපිළිවෙළ කාර්යක්ෂම සේවාවක් කිරීම කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

එසේම මෙම 8 වෙනිදායින් පසු කොටුව ජනාධිපති මන්දිරය මහ ජනතාව සඳහා විවෘත කිරීමට රජය තීරණය කැර ඇත.

'මෛත්‍රීපාලනයක්-ස්ථාවර රටක් වසරක් සපුරයි' යන තේමාව මුල් කැර ගෙන ජනාධිපති වර්ෂ පූර්ණ ප්‍රධාන උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී ජනවාරි 8 දහවල් 2ට පැවැත්වෙයි.

එහි දී 'එකම දැයක් මහබලයක්' ග්‍රන්ථය එළිදැක්වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ දේශනයන් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරයා‍ගේ සහ ඉන්දියානු නියෝජිතයකුගේ දේශනයක් ‍මෙහි දී පැවැත්වීමට සුදානම් කැර තිබේ.

වර්ෂ පූර්ණය නිමිත්තෙන් ආගමික වැඩසටහන කළුතර බෝධිය අසල දී එදින ආරම්භ කෙරේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී උදේ 11ට සංවර්ධන කටයුතු කිහිපයක් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

එදින රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රාත්‍රී ධර්ම දේශනය පැවැත්වෙන අතර එකම දැයක්-එක බලයක් සංස්කෘතික සංදර්ශනය ජනවාරි 9 වෙනිදා සන්ධ්‍යාවේ දී කොළඹ නිදහස් චත්‍රරශ්‍රයේ දී පැවැත් වෙයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය මඟින් පවත්වන ඡායාරූප ප්‍රදර්ශයක් අටවැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීත් 9 වෙනිදා ආකේඩ්හිදීත් පැවැත්වීමට සැලසුම් සකස් කැර තිබේ.

Share on Google Plus