මහින්දගේ සුදුවෑන් ගැන විමල්ගේ ගෝලයා වමාරයි.


මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ සුදුවෑන්වලින් මිනිස්සුන්ව පැහැරගෙන ගියා තමයි. ඒකේ ඇති අවුල මොකක්ද? වැනි ප්‍රකාශකයක්, විමල් වීරවංස නියෝජනයකරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තුවට පැමිණි නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඊයේ (15) මවුබිම පුවත් පතට කර තිබේ.

දැන් හොරු අල්ලන්නෙ නැහැ කිව්වට පසුගිය පාලන කාලෙදීත් සුදු වෑන්, අතුරුදන් වීම්, ඝාතන සංස්කෘතියක් තිබුණා. ඒ කාලෙ පරීක්‍ෂණ කළෙත් නැහැනෙ? යනුවෙන් මාධ්‍ය වේදියා විමසන විට මන්ත්‍රීවරයා පවසන්නේ "මාධ්‍යවේදීන් පැහැර ගැනීම ගැන මගේ දැඩි විරෝධයක් තියෙනවා. ඒ මහින්ද රාජපක්‍ෂ යුගයේ විතරක් නෙවෙයි, ජේ.ආර්., ප්‍රේමදාස යුගවලත් එහෙමයි.

සියලු ඝාතන සිදුකළේ මහින්ද රාජපක්‍ෂ නෙවෙයි. රාජපක්‍ෂ යුගයෙ සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. හැබැයි මම දැකලා නැහැ රටේ ඉන්න කවුරු හරි යහපත් මනුස්සයෙක්, රටට සේවයක් කරන කෙනෙක්ව මේ සුදු වෑන්වලින් උස්සගෙන ගිහින් ගහලා මරලා දාලා තියෙනවා කියලා.

සුදු වෑන්වලින් පාතාලකාරයෝ ඉස්සුවා. ත්‍රස්තවාදීන් ඉස්සුවා. ඒ කාලේ තිබුණු ප්‍රධාන ගැටලුව විසඳන්න යන ගමනට බාධා වුණු අයව තමා එහෙම පැහැර ගත්තෙ.

ගෙනිහින් හැංගුවද, මරා දැම්මද කියන එක මම දන්නෙ නැහැ. හැබැයි ඒ ආණ්ඩුව කළ සමහර දේවල්වලට 2015 ජනවාරි 8 වැනිදා උත්තරේ ලැබුණා. ඒකෙන් වුණේ රට ගොඩගත්තු නායකයව ගෙදර යවපු එක. හැබැයි ඒ යවලා බලාපොරොත්තු වුණු දේ ජනතාවට යහපාලනය තුළින් ලැබුණෙ නැහැ."

"සියලු ඝාතන සිදුකළේ මහින්ද රාජපක්‍ෂ නෙවෙයි." යනුවෙන් නිරෝෂන් මන්ත්‍රීවරයා පවසන අතර එහි ඇති යටි අර්ථය වන්නේ මහින්ද රාජපක්ෂ විසින්ද යම් ඝාතන ප්‍රමාණයක් සිදු කර ඇති බවය.

"සුදු වෑන්වලින් පාතාලකාරයෝ ඉස්සුවා. ත්‍රස්තවාදීන් ඉස්සුවා. ඒ කාලේ තිබුණු ප්‍රධාන ගැටලුව විසඳන්න යන ගමනට බාධා වුණු අයව තමා එහෙම පැහැර ගත්තෙ." පාතලයෙකු වුවද, ත්‍රස්තවාදියෙකු වුද, ඔහුට හිමි දඬුවම ලබා දිය යුතු වන්නේ රටේ නීතියට අනුවය. එය ලොව පිළිගත් සත්‍යයකි. නිරෝෂන් මන්ත්‍රීවරයා පවසන පරිදි මහින්ද රාජපක්ෂ සිදු කර ඇත්තේ රටේ නීතියට පිටින් යමින් රාජපක්ෂ නීතිය අනුව බලහත්කාරය යොදවමින් භීතිය වපුරමින් පැහැර ගැනීම් සිදු කරමින් මරණ දඬුවම හෝ අතපය කැඩීම, කොණ්ඩය බූ ගෑම, මැරයන් යොදා පහරදීම වැනි රාජපක්ෂ පන්නයේ දඬුවම් ලබා දීමය. එය මානව හිමිකම් උල්ලංඝනය වීමක් වන අතර එය යුක්ති යුක්ත වන්නේද නැත.

මෙහි ඇති වැදගත්ම කාරණයක් වන්නේ "ඒ කාලේ තිබුණු ප්‍රධාන ගැටලුව විසඳන්න යන ගමණට බාධා වුණු අයව තමා එහෙම පැහැර ගත්තෙ" යනුවෙන් මන්ත්‍රීවරයා සඳහන් කර තිබීමය. "ආණ්ඩුවේ ගමණට බාධාවන අයව පැහැරගත්තාය" යන්න මෙහිදි ඔහු ප්‍රසිද්ධියේම කියා තිබේ. ඔහු මාධ්‍යවේදියෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කළ අයෙකි. ආණ්ඩුවක ගමණට බාධා ගෙනදෙන පුද්ගලයන් එම මාවතෙන් ඉවත් කිරීමට කළ යුත්තතේ පැහැරගැනීම්, ඝාතන, බියවැදිදීම් නම් එය මාධ්‍ය වෘත්තියේ සිටි නිරෝෂන් වැන්නකු විසින් වැමෑරීම දෛවයේ සරදමකි.

ආණ්ඩුවේ ගමණට බාධාවන අයව පරාජය කළ යුත්තේ මතවාදීමය තලයේ වන නමුත් මහින්ද රාජපක්ෂ තෝරාගත්තේ සම්පූර්ණයෙන්ම පැහැරගැනීම්, ඝාතනය කිරීම් හෝ බියවැද්දීම් බවද මෙහිදී නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීම තුළින් පැහැදිළි වේ.

නිරෝෂන් කියන පරිදි සුදු වෑන්වලින් යහපත් මිනිසුන් පැහැරගෙන ගොස් අතුරුදහන් කර හෝ ඝාතනය කර නොඑසේනම් බියවැද්දීම් සිදු කර නැත. එසේනම් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ, ලලිත් සහ කූගන් යන දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මාධ්‍යවේදී කිත් නොයාර්, ජවිපෙ ක්‍රියාකාරීන් වූ ගාල්ල නාගරික මන්ත්‍රීවරයෙකුව සිටි නයිනවාවදු වැන්නන් යහපත් මිනිසුන් නොවේද?


Share on Google Plus