මම තමයි පිරිසිදු ශ්‍රී ලංකාකාරයා... මගේ ළඟ කලවම් අය නැහැ...


"මට සහයෝගය දුන්නේ නියම ශ්‍රී ලංකාකාරයින්. කලවම් වෙච්ච ශ්‍රී ලංකාකාරයෝ නෙවෙයි. අද මෙතන ඉඳලා හෙට අනිත් පැත්තට ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙලා මේකත් කොටස්කාරයන්ට පවරන්න දෙන්න බැහැ. ඉතින් අපි ඒකට විරුද්දයි." යැයි පසුගියද කුරුණෑගල දිසිත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.

කෙසේ නමුත් ඔහු එසේ පවසද්දී ඔහු පිටුපසින් සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකුව සිට පසුව රාජපක්ෂ පාලනයට එක් වූ ගාමිනී ලොකුගේ මහතා සහ එවැනිම එජාප ප්‍රබලයෙකුව සිට පසුව රාජපක්ෂ පාලනයට එක් වූ වි.ජ.මු ලොකුබන්ඩාර මහතාගේ පුත් උදිත් ලොකු බණ්ඩාර මහතාය. කෙසේ වුවද ඔහු, ඔවුන් පිරිසිදු ශ්‍රී ලංකාකාරයින් වන්නේ කෙසේදැයි මහින්දට ඡන්දය දුන් 'ශ්‍රී ලංකාකාරයින්ට' පැහැදිලි කර නැත.

මහින්ද රාජපක්ෂ මහතා පවසන පරිදි වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ගෙනයන හවුල් ආණ්ඩුවක් බව සැබෑය. එම පක්ෂ දෙක තුළම පිල් මාරු කළ ශ්‍රී ලංකා නිදහදස් පාක්ෂිකයන් හා එක්සත් ජාතික පාක්ෂීකයන් සිටිති. ඔවුන් එදිනෙදා බලයට පැමිණෙන ආණ්ඩුවලට තම තමන්ට වාසි සැලසෙන ප්‍රමාණය අනුව එම තීන්දු තීරණ ගනිමින් සිටී. 19වන සංශෝධනයට ගෙනා මන්ත්‍රීවරයෙකුව සිටිමින් පක්ෂ මාරුකිරීමේ හිමිකම අහෝසි කරන නීතියට විරුද්ධ වූවේද ඔවුන්ය.

මේ තත්වය තුළ මහින්ද රාජපක්ෂ මහතා පවසන පරිදි ඔහු ළඟ පිරිසිදු ශ්‍රී ලංකාකාරයින් සිටින්නේ යැයි පැවසීම ඉතාමත් හාස්‍යෝත්පාදක ප්‍රකාශයකි. මහින්ද රාජපක්ෂ වටා අද සිටින ප්‍රබලයන් දෙස බැලූ විට එය මැනවින් පෙන්නුම් කෙරේ.

ගාමිනී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදිත් ලොකුබණ්ඩාර, තිස්ස අත්තනායක, කෙහෙළිය රඹුක්වැල්ල, අබ්දුල් කාදර්, අර්ල් ගුණසේකර, දුමින්ද සිල්වා, උපේක්ෂා ස්වර්ණමාලි වැනි අය මේ අතර ඉදිරියෙන්ම සිටිති. ඔවුන් එක්සත් ජාතික පාක්ෂිකයන්ව සිටි අය වන අතර එජාපය පරාජයට පත්වෙමින් තිබූ පසුගිය වකවානුවේ "මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට" යැයි කියමින් විවිධ චෝදනාවලින් බේරීම සඳහා එක්වූ පිරිසක්ය.

එමෙන්ම බන්දුල ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ, ජී.එල්. පීරිස් වැනි මහින්ද වටා සිටින පිරිස අවස්ථා කිහිපයකදීම ශ්‍රීලනිපයට, එජාපයට, ශ්‍රිලනිපයට ලෙස පිල් මාරු කළ අයය.

ඒ අනුව ගත් විට මහින්ද රාජපක්ෂ ළඟ සිටින්නේ පිරිසිදු ශ්‍රී ලංකා කාරයන් යැයි පැවසීම හාස්‍යයක් පමණක්ම වී තිබේ.

Share on Google Plus