විනය පනත ගේන්නේ විදෙස් වුවමනාවකට - මහින්ද.


"එදා සිට අපේ මුතුන්මිත්තන් බුලත් හුරුල්ලක් මත පඬුරක් තබා නැකැතක් ඉල්ලාගෙන ආශීර්වාද ගන්න ගියේ පන්සලටයි. ඒත් එදා තිබූ ඒ සබැඳියාව කඩා දමන්න මේ අය උත්සාහ කරනවා. වසර 2500කට අධික ඉතිහාසයක් ඇති එම සබැඳියාව බිඳ දමනකම් අපි බලා ඉන්නේ නෑ...." යැයි හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ පසුගියදා පැලැන්වත්ත පන්නිපිටිය සණස ශාලාවේදී පැවැති උත්සවයකට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි. ගත් කතුවර ලලිත් රෝහණ ලියනගේ විසින් රචිත 16 වන සියවසේ බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව මායාදුන්නේ වීදියබණ්ඩාර, සීතාවක රාජසිංහ, විමලධර්මසූරිය සේනාධි නායකයන් කළ සටනේ 'ලිඛිත සාක්ෂිය' හා අරගලයක බලපොරය කෘතීන් විමර්ශනය කිරීම සඳහා මහජන නියෝජිතයන්, විද්වතුන්, කලාකරුවන් හා පොදුජන සහභාගිත්වයෙන් මෙම උත්සවය සංවිධාන කර තිබිණි.

මෙහිදී වැඩිදුරටත් කතා කළ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
භික්ෂුන් වහන්සේ මුල් කරගෙන පනතක් එන බවට අද අපි කතා කරනවා. පසුගිය දිනවල අපි අය-වැයකට මුහුණ දුන්නා. ඊට සතියකට පමණ පසු අය-වැයත් බඩු මිලත් දෙකම අපිට අමතක වුණා. අලුත් ව්‍යවස්ථාවක් එන නිසා ඒ සියලු දේ අමතක කර අපි එම ව්‍යවස්ථාවේ එල්ලී සිටිනවා. ඒ පිළිබඳ වෙනස් ආකාරයෙන් මතවාද එනවිට ඒ අතර ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ගෙන ආ පනත පිළිබඳ කතා කරනවා. මෙම පනත අපි හිතනවාට වඩා අෑතට විහිදෙනවා. හිමිනමකට පාරට බැස උද්ඝෝෂණය කරන්න විරෝධතා දක්වන්න වෙන්නේ නෑ. දැන්මම බිය වද්දන්න වැඩපිළිවෙළක ආරම්භයක් හැටියට මෙය දකිනවා.

විදේශීය වුවමනාවකට ගෙන ආ දෙයක් හැටියට විශ්වාස කළ හැකියි. රාජ්‍ය නොවන ආයතන අපට ඉහළින් ක්‍රියාත්මක වන අවස්ථාවක මේ ඔළුවලට එක එක මත දානවා. මතුපිටින් බැලූ විට එය බොහොම හොඳ යැයි පෙනෙනවා. ඒත් කාලය සමඟ ඒවා ක්‍රියාත්මක වීම අපහසුතාවට පත් වෙනවා. යහපාලනය කියන්නේ හොඳ වචනයක්. ඒත් ඒ තුළ ඉන්නා අයගේ මතය කුමක්ද? අද පළිගැනීම තමයි මූලික පාලනය වෙලා තිබෙන්නේ. එකම අරමුණ සෑම කෙනාගෙන්ම පළිගැනීමයි. වසරක් නිමාවුණා රටේ කිසිම සංවර්ධනයක් වුණේ නෑ. මේවා ජනතාවට ඍජුවම බලපානවා. එක් පැත්තකින් බඩු මිල ඉහළ ගිහින් ජීවන වියදම ඉහළ ගියා. විරැකියාව ඇතිවී තිබෙනවා.

අපේ ගමේ අය බුලත් අතට පුංචි පඬුරක් තබා ආචාර කර ගමේ හාමුදුරුවන්ගෙන් නැකතක් ඉල්ලා ගත්තා. බෙහෙත් ටික ඉල්ලා ගත්තා. මේ ජනතාවත් පන්සලත් අතර ඇති සබඳතාව කඩා දමන්න මේ අය උත්සාහ කරනවා. මොන දේටත් අපි එදා ගියේ පන්සලටයි. සෙත්කවි කියවා ගත්තා. ආශීර්වාද ලබාගත්තා. මේ ආකාරයෙන් අපි පන්සලත් සමඟ ගැටගැසී සිටියා. වසර ගණනාවක් බැඳී තිබූ මේ සබැඳියාව එක පනතකින් අෑත් කරන්න හදනවා. මීට පසු අම්මා කෙනෙකුට පිරිත් ටිකක්වත් කියන්න ලැබෙන්නේ නෑ. පිරිත මන්තරයක් බවට පත්කරලා දඬුවම් කරාවි. ගුප්ත ක්‍රියාවන් කියාවි. මේවා නීතියට ඕනෑම ආකාරයකට අර්ථකථනය කරන්න හැකි වෙනවා. ඒවාට නීතිඥයො පිරිසක් සැරසී ඉන්නවා. මොකක්ද මේ වෙන්න යන්නේ. මිනිසාට ඇති ඒ නිදහස විශ්වාසය වසර 2500කට අධික කාලයක සිට ඇතිවූ බැඳීම අපෙන් උදුරා ගන්න හදනවා. අපි ඒක උදුරා ගන්නකම් බලා ඉන්නේ නෑ. ගිහියන්ට දාන නීති මේ අයට දාන්න එනවා. හැබැයි ගිහියන්ට දාපු නීති හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නෑ.

ව්‍යවස්ථාවේ ඇති නීතිවලට පටහැනිව මේ අය කටයුතු කරනවා. නීතිය අද වල් වැදිලා. නිවසක උත්සවයක්වත් පවත්වන්න බැරි ආකාරයට අද පත්වෙලා. ඒකටත් අවසර ගන්න වෙලා. මළගෙයක් වුවත් සෙනඟ ආවොත් එහි ආරවුලක් ඇති වුණොත් අයුතු ජනරාශිය යටතේ නීතිය ක්‍රියා කරන්න හැකි බව පවසනවා. රැස්වීමක් තිබෙන විට නම් අවසර ගන්න පුළුවන් ඒත් නිවෙසක මඟුල් ගෙයක් උපන් දිනයක් ගන්න විට පොලිසියට ගොස් අවසර ගන්න පුළුවන්ද? රට ඒ තත්ත්වයට පත්වෙනවා කියන්නේ රටම පොලිසිය යටතට පත්වෙලා. ජ්ඛ්ධ්ච් කියයි. ඛ්ධ්ච් කියයි. එක්කො අල්ලස් කොමසාරිස් මේ රට පාලනය කරන්න සූදානම් වෙනවා නම් එතුළින් පීඩනයට පත්වන්නේ රටේ ජනතාවයි.

Share on Google Plus